ජනාධිපති කම්බා හොරු රකිනවා.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනාධිපති අකමැතියි..

August 2, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති කම්බා හොරු රකිනවා.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනාධිපති අකමැතියි..

කම්බා හොරුන්ගෙන් සමන්විත ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව රට පුරා නැගෙන ජනතා විරෝධයට ජනාධිපතිවරයාගේ ආශිර්වාදයක් අවශ්‍ය නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා රැකීමට සූදානම් වන්නේ රටට වැඩක් කරන සුපිරිසුදු ආණ්ඩුවක් නොව දේශද්‍රෝහී ආණ්ඩුවක් වීම කණගාටවට කරුණක් බව පැවසූ රණතුංග මහතා දේශද්‍රෝහී ආණ්ඩුව එරෙහිව නැගෙන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුව රකින අය ද ඉවතට ගසාගෙන යනු ඇති බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දොම්පේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කුණු බැහර කිරීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයකට සහභාගී වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවක් සඳහා පූගොඩ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩුවක් හදන්න තමන් ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය තුළින් කියැවෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවාට එතුමාගේ ඇති අකැමැත්තයි. එතුමාගේ ප්‍රකාශය තුළින් ගම්‍ය වෙන්නේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට අගමැති ධූරය ලබාදෙන ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවක් කියලයි අපට නම් පෙනෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට එතුමා එරෙහි වෙච්ච ප්‍රථම අවස්ථාව මේක නොවෙයි. එතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ඒ වෙනකොට හිටපු දි. මු. ජයරත්න කියන අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා අගමැති ධූරයෙන් ඉවත් කරලා ජනබලයක් නොතිබුණු රනිල් වික්‍රමසිංහට අගමැතිකම පූජා කළා.

ඊළඟ 2016 මහ මැතිවරණය අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රටේ පැහැදිලි බහුතරයක් ලැබෙන්න නියමිතව තිබිය දී දිනුවත් මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්නේ නැහැ කියන ප්‍රකාශය කරලා අපේ අතේ තිබුණු ජයග්‍රහණය එ. ජා. පය පැත්තට හරවලා යැව්වා. ඒ හින්දා එතුමාගේ මේ ප්‍රකාශය ගැන පුදුම විය යුතු නැහැ.

අපි පුදුම වෙන්න ඕනේ මුළු රටම එක හඬකින් මේ දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා කියන කොට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න හදන එකයි. මේකෙන් පෙනෙන්නේ එතුමාට වැදගත් ජනාධිපතිවරණයේ දී කරපු උදව්ව මිසක් රටේ මතය නොවන බවයි.

කවුරු මොන දේ කිව්වත් මේ ආණ්ඩුව දැන් ජනතාවට තිත්ත වෙලා ඉවරයි. ඒ බව ආණ්ඩුවත් දන්න නිසා තමයි නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් ඡන්ද කල්දමමින්, විරුද්ධවාදීන් මර්දනය කරමින් ඒකාධිපති වියරුවකින් හැසිරෙන්නට පටන් අරගෙන තියෙන්නේ. ජනාධිපතිවරයා මේ ආරක්ෂා කරන්න හදන්නේ රටට වැඩක් කරන සුපිරිසුදු ආණ්ඩුවක් නම් අපට කමක් නැහැ.

නමුත් ඔහු මේ රකින්නේ කම්බා  හොරුන්ගෙන් සමන්විත ඒකාධිපති වියරුවෙන් වැහුණු ආණ්ඩුවක් වීම තමයි අපට තිබෙන කණගාටුව. ‍මේ වියරු ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනතා විරෝධයට ජනාධිපතිවරයාගේ ආශිර්වාදයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුව පමණක් නොවෙයි එම ආණ්ඩුව රකින අයත් මේ විරෝධතාවයෙන් ගහගෙන යන දවස වැඩි ඈතක නොවෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

35 views
Main News