ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස ආණ්ඩුවේම පිරිසක්.. ඇමති-නියෝජ්‍ය ඇමති තරගෙට බොරු කියයි.. මානසික වාර්තාවක් කැදවිය යුතුයි…

October 9, 2018 at 8:40 am | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිටුපස ආණ්ඩුවේම පිරිසක්.. ඇමති-නියෝජ්‍ය ඇමති තරගෙට බොරු කියයි.. මානසික වාර්තාවක් කැදවිය යුතුයි…

පිවිතුරු හෙළ උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙම අදහස් පල කලේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුම් පිළිබද අනාවරණය වූ කරුණු ඔස්සේ පරීක්ෂණ පවත්වද්දී, පොලීසිය සතුව තිබූ ස්නයිෆර් ගිනි අවියක් සහ ත්‍රිස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ තිබූ LMG වර්ගයේ ගිනි අවි 2ක් අතුරුදහන් වීම පිළිබද මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළා.

එකී පුවත් අනාවරණයෙන් පසු නීතිය සාමය පිළිබද ඇමති රංජිත් මද්දුම බණ්ඩාර සහ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර වාර්ථාකරණයේදී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස මාධ්‍ය වලට දැනමුතුකම් දුන්නා.

එකී ගිනි අවි අතුරින් අතුරුදහන් වූ LMG ගිනි අවි 2 පිළිබදව පසුගිය 2018.10.05 වන දින   ඊ – 10744 – 18  දරණ බී වාර්ථාවෙන් සීඅයිඩිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කරමින් එම ගිනි අවි දෙක 2018.09.04 ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් නිකුත් කොට 2018.09.06 වන දින යළි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශායට භාර දී ඇති බවට කරුණු අනාවරණය කළා.

මෙන්න ඒ පිළිබදව හිරු බලය 2018.09.27 වැඩසටහනේදී මාධ්‍ය වලට වගකීම ගැන ඉගැන්වූ ඇමති මද්දුම බණ්ඩාර කියන දේ. ‘අපි දන්නවා මෙහෙයුම් කරද්දී LMG වගේ අවි TID යට නිකුත් කරලා තියනවා. ආපසු අරන් තියනවා. මේ LMG නිකුත් කරලා තියන්නේ 2017 නොවැම්බර් මාසයේ.’

එතුමට අනුව මෙහෙයුමක් සදහා LMG ගිනි අවි නිකුත් කරලා තියන්නේ 2017 නොවැම්බර් මාසයේ. බී වාර්ථාවෙන් සීඅයිඩිය කියනවා ඒවා නිකුත් කරලා තියන්නේ 2018.09.04 සිට 2018.09.06 දක්වා කාලය තුළ කියලා. ඔන්න වගකීමේ තරම පැහැදිළියිනේ කව්ද වගකීමෙන් උත්තර දෙන්නේ කියලා. අපි පොලීසිය භාර ඇමතිතුමාගෙන් අහනවා LMG ගිනි අවි නිකුත් කළ විශේෂ මෙහෙයුම මොකද්ද කියලා.

ඊටම ගැළපෙන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර, ජාඩියට මූඩිය වගේ. ඇමතියි නියෝජ්‍ය ඇමතියි තකට තක. මෙන්න LMG  අවි ගැන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියන කථාව. 2018.09.28 අද දෙරණ ප්‍රවෘත්ති.‘ LMG ගිනි අවි 2ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තියනවා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ගිනි අවි දෙක ඒ ආකාරයෙන්ම තියනවා.’

කොහොමද උත්තරේ. හරිම අපූරුයි නේද ?

දැන් මේ ගිනි අවි පිටතට ගෙන ගොස් ති‍යෙන්නේ උප සේවය විසින් සටහන් යොදලාද? බී 10744 /18 යටතේ සීඅයිඩිය වාර්ථා කරනවා එම ආයුධ බැහැර කිරීම සහ නැවත ගෙන ඒමේදී සටහන් යොදලා නෑ කියලා. මෙන්න නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ඒ ගැන කියන කථාව. 2018.09.27 හිරු බලය වැඩසටහන ‘ LMG  ගිනි අවි 2ක් TID ට  නිකුත් කරලා තියනවා. ඒවා TID යේ තියනවා. එතනින් යම්කිසි රාජකාරි කටයුතු වලට ගෙන යන කොට සටහන් යොදලා තියනවා. ආපසු අරන් එනකොටත් සටහන් දාලා තියනවා. ඒ පිළිබද ප්‍රශ්නයක් නෑ. ’

ඇමතියි නියෝජ්‍ය ඇමතියි තරගෙට බොරු කියනවා. මානසික වෛද්‍ය වාර්ථාවක් කැදවිය යුත්තේ තෙබුවන පොලීසියේ සැරයන්වරයාගේ නොව පොලීසිය භාර ඇමති සහ නියෝජ්‍ය ඇමති දෙපලගේය.

ජනාධිපති, හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ගැන සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් පොලීසිය භාර ඇමතියි නියෝජ්‍ය අමතියි මේ ආරක්ෂා කරන්නේ කාවද?

රටේ ජනාධිපතිවරයාට විරුද්ධ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වී තිබියදී චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් තොරතුරු වසන් කිරීම බරපතල වරදක්. ඒ අනුව පොලීසිය භාර ඇමති මද්දුම බණ්ඩාර සහ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර තමන් කළ වගකීම් විරහිත සහ ජාතිය නොමග යවන සුලු ප්‍රකාශ නිකුත් කිරීමේ වගකීම භාර ගෙන වහා ඉල්ලා අස් විය යුතුයි.

ඇමති තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂට ඉල්ලා අස්වෙන්න කියා බලකලා වගේ තම ධූරයේ කටයුතු නිසි පරිදි ඉටු නොකරන පොලිස් පරීක්ෂණ නොමග යවන ප්‍රකාශ කරන පොලීසිය භාර ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ආණ්ඩුව තුළින් විරෝධයක් නොනැගෙන්නේ ජනාධිපති ඝාතන හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිටුපස ආණ්ඩුවේම කොටසක් සිටින නිසාදැයි අපට ප්‍රශ්නයක් පැනනගිනවා

– අරවින්ද අතුකෝරල

23 views
Main News