ජනාධිපති නොමග ගිහින්.. සයිටම් උත්තරේට GMOA විරුද්දයි.. වෘත්තීය සමිති සියයක් සමග යලි සටනට..

April 21, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති නොමග ගිහින්.. සයිටම් උත්තරේට GMOA විරුද්දයි.. වෘත්තීය සමිති සියයක් සමග යලි සටනට..

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ විසඳුම සම්බන්ධව සයිටම් ආයතනයට එරෙහි වෘත්තීය සමිති සියය සමඟ ඊයේ සාකච්ඡා කළ බව ද එහිදී එකී විසඳුමට එකඟ නොවීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සඳහා වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු බවට ජනාධිපතිවරයා කර ඇති යෝජනාවෙන් පෙනී යන්නේ දැනට තිබෙන සයිටම් පාලනය වැරැදි බව ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙන බව යෑයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සිසුන්ට පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාගවලට පෙනී සිටිය යුතු බව ද ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන ඇතැයි කීය.

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බව ජනාධිපතිවරයාගේ විසඳුම් තුළින් පැහැදිලි වන බව ද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

සයිටම් සඳහා පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීම නොව ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එය රජයට පවරා ගැනීම බව ද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එසේ නොකරන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ කළ අරගලය තවදුරටත් අඛණ්‌ඩව සිදුකරන බව ද කීවේය.

– දිවයින

28 views
Main News