ජනාධිපති මෛත‍්‍රීට කාලය තවත් මාස පහලොවක් පමණයි..

May 2, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රීට කාලය තවත් මාස පහලොවක් පමණයි..

සරළ ජනාධිපතිවරයාට විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමේ වැදැගත්කම මතක්ව ඇත්තේ බලයට පත්ව වසර තුනක් තිස්සේ රට විනාශ කළ පසුව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

විද්‍යාත්මක ඇමැති මණ්ඩල දහයක් පත් කළත් ජනාධිපතිවරයාට ජනාධිපති පුටුවේ ඉන්නට වරම් ඇත්තේ තවත් මාස 15ක පමණ කාලයක් පමණක් බව පෙන්වා දුන් රණතුංග මහතා ඇමැති කුට්ටම් අන අනා ඉන්නේ නැතුව දැන්වත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකට උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (02) එක්වෙමිනි. මන්ත්‍රිවරයා එහිදි වැඩිදුරටත් මෙසේද පැවසීය.

රට මුහුණ දී තිබෙන අර්බුද ජනතාවගෙන් වසන් කරන්නට ආණ්ඩුව දවසින් දවස එක එක නාඩගම් රඟදක්වනවා. අලුත්ම නාඩගම තමයි ඇමැති මණ්ඩල නාඩගම. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු තුනක් ගෙවිලත් නැති වුණාට ඇමැති මන්ඩලය තුන් හතර වතාවක්ම සංශෝධනය කෙරිලා තියෙනවා.

දැන් රටට තියෙන ලොකුම ප්‍රශ්නය ඇමැති මණ්ඩලය විද්‍යාත්මක නොවීමද කියලා අපිට අහන්න වෙනවා. මේ ආණ්ඩුව නියෝජනය කරන හොර තක්කඩි රැල එහෙට මෙහෙට කළා කියලා විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් වෙන්නේ නැහැ. මේ රටට දැන් ඕනේ අලුත් ඇමැති මණ්ඩලයක්, අලුත් ආණ්ඩුවක්.

ඇමැති මණ්ඩලය පමණක් නොවෙයි මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාත් වෙනස් විය යුතු බවයි ඒකාබද්ධ විපක්ෂයේ අපි වගේම මේ රටේ බහුතර ජනතාවත් දැන් විශ්වාස කරන්නේ. අවුරුදු තුනක් ඇතුළත ආර්ථිකය, ජාතික ආරක්ෂාව යනාදි සියලු දේ විනාශ කරපු මේ ඇමැති මණ්ඩලය දක්කන්න ඕනේ හිරගෙට.

එක පැත්තකින් ජීවන වියදම අහස උසට නැගලා. ඩොලරය රුපියල් 160 දක්වා ඉහළ නැගලා. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව වගේම මිනිස්සුන්ගේ පුද්ගලික ආරක්ෂාවත් බින්දුවට වැටිලා. පාතාලය තමයි අද රට පාලනය කරන්නේ. ආණ්ඩුව තියෙන්නේ පාතාල නායකයන්ගේ අතෙයි.

මිනිස්සු කප්පරක් ප්‍රශ්නවලට මැදිවෙලා ජීවන සටන කරන කොට සරළ ජනාධිපතිතුමාට මතක් වෙනවා විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් නැහැ කියලා. ඔන්න මාධ්‍ය ටික වටකරගෙන අර හිටපු හොරු රැළම ගෙන්නලා ඇමැති කුට්ටම අනනවා. එතුමට මතක නැහැ මේ අනන්නේ පරණ කුට්ටමමයි කියලා.

මේක කොහොම ඇනුවත් ගොඩදාන්න පුළුවන් කුට්ටමක් නෙමෙයි. මේ කුට්ටම දැන් කල් පැනපු කුට්ටමක්. මීළඟ මහ මැතිවරණයේ දී මේ කුට්ටමේ බහුතර ඇමැතිවරුන්ට විශ්‍රාම සුවය ලැබීමට නියමිතයි. බලයට ඇවිත් අවුරුදු තුනකුත් ගියාට පස්සේ තමයි උන්නැහෙට විද්‍යාත්මකභාවය මතක් වෙලා තියෙන්නේ.

විද්‍යාත්මක ඇමැති මණ්ඩල දහයක් පත් කරගත්තත් ජනාධිපතිවරයාට තව පුටුවේ ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ මාස පහළොවක විතර කාලයක් විතරයි. ඒ හින්දා දැන් තියෙන්නේ ඇමැති කුට්ටම් අන අනා තවදුරටත් ජනතාව මුලා කරමින් ඉන්න එක නෙමෙයි කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.

ජනාධිපතිවරයා 2015 දී භාර ගත් රට සහ අද තියෙන රට අතර වෙනස කල්පනා කරලා බලන්න. එදා යුද බියෙන් තොර වූ සංවර්ධනය කරා සීඝ්‍රයෙන් යමින් තිබුණු රටක් තමයි සිරිසේන මහත්තයා භාරගත්තේ. අද අවුරුදු තුනක් ගත වෙනකොට ඒ රට මහා අගාධයකට වැටිලා ඉවරයි.

රට විතරක් නෙමෙයි මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැත්තටම නැති වුණා. විධායක ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය, පළාත් සභා 9න් 8කම බලය, පළාත් පාලන ආයතන සියයට 90කට වැඩි බලය හිමිව තිබුණු නිදහස් පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණම මොකක්ද කියලා කල්පනා කරලා බලන්න.

අද නිදහස් පක්ෂයේ ඡන්ද පදනම බිඳවැටිලා. පාක්ෂිකයන් කිසිවෙක් පක්ෂ නායකත්වය ගැන විශ්වාසයක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පක්ෂයේ එක බල කණුවක් වන ශ්‍රි ලංකා නිදහස් වෘත්තීය සමිතිය පවා අද පක්ෂයෙන් ඉවත් වෙලා ගිහින්. පක්ෂයට අද ඉතුරු වෙලා ඉන්නේ සභාපති, ලේකම් සහ ඒ අයට කත් අදින ඇම්බැට්ටයෝ ටිකක් විතරයි.

2015 වන විට ස්වර්ණමය යුගයකට පිවිස තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඩාර්ලි පාරේ බෝඩ් ලෑල්ලට විතරක් සීමා වෙලා. කවුද මේවට වගකියන්න ඕනේ? අපි බය නැතුව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම වත්මන් සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් භාරගත යුතු බවයි.

ජනාධිපතිවරණයෙන් පස්සේ බලලෝභීකමට නිදහස් පක්ෂයේ බලය මහින්ද මහත්තයා අද තියෙන්න ඉඩ ඇරියා නම් අද නිදහස් පක්ෂය මේ රටේ ප්‍රධානතම ආණ්ඩු විරෝධී බලවේගය බවට පත්වෙලා ඉවරයි. ඒ අවස්ථාව නිදහස් පක්ෂයෙන් උදුරගෙන සිරිකොතේ ඉඳුල් කන තැනට වැට්ටුවේ කවුද කියලා දැන් මුළු රටම දන්නවා.

තවදුරටත් මේ අපරාධය නිදහස් පක්ෂයට කරන්න එපා. තවදුරටත් මේ අපරාධය මේ රටට කරන්න එපා. දැන්වත් පක්ෂයත් රටටත් හරි නායකයකුට භාර දී නම්බු පිටින් විශ්‍රාම යන්න කියලයි අපි කාගෙ කාගෙනුත් ඉල්ලා සිටින්නේ. එහෙම නොවුණහොත් ජනතාව පාරට බැහැලා තමුන්නාන්සේලාව ගෙදර යවයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

18 views

2 Comments to “ජනාධිපති මෛත‍්‍රීට කාලය තවත් මාස පහලොවක් පමණයි..”

  1. දහනායක says:

    අපේ අනාගත අගමැති තුමා..
    බැසිල් ජනාධිපතිතුමන්ගේ..

  2. Open mind says:

    ඉවසමු……ඉවසමු….ඒ මාස 15 ත් ඉවසමු. ඊට පස්සෙ…….ඒකත් ඉවසමු…..

Main News