ජනාධිපති විසින් කතෝලික සභාවට අපහාස කලැයි චෝදනා…

April 2, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති විසින් කතෝලික සභාවට අපහාස කලැයි චෝදනා…

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

තොරතුරු නිලධාරි,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු මහත්මයාණෙනි/මහත්මියෙනි,
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරනා තොරතුරු ඉල්ලීමයි

1. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකර මේ රට සෑදිය නොහැකි බවයි. ඒ බව තහවුරු කරනා විද්‍යාත්මක සාක්ෂි සහිත අධ්‍යයන වාර්තාවල පිටපත් අපි ඉල්ලා සිටිමු.

2. ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. නමුත්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ, මත්ද්‍රව්‍ය වෙළඳාම, හෝ මත්ද්‍රව්‍ය භාවිතාව මැඬලීම සඳහා සාධනීය දඬුවම් ක්‍රමවේදයක් බවට කියනා විද්‍යාත්මක සාක්ෂි සහිත අධ්‍යයන වාර්තාවක් අපට ලෝකේ සොයා ගත නොහැකි බැවින්, එය එසේ සාධනීය බවට කියනා, ජනාධිපතිවරයාගේ තීරණයට හේතුවන විද්‍යාත්මක සාක්ෂි සහිත අධ්‍යයන වාර්තාවල පිටපත් අපි ඉල්ලා සිටිමු.

3. රටේ රාජ්‍ය ආගම බුද්ධාගම ලෙස සැලකෙන හා මරණ දඬුවම ක්‍රියාත්මක කරනා ලෝකේ රටවල්වල ලේඛනයක් අපි ඉල්ලා සිටිමු.

4. බන්ධනාගාර පද්ධතියේ ඇති විවිධාකාර දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන්, මරණ දඬුවමට ලක් කිරීමට නියමිත සිරකරුවන් සැබැවින්ම ඒ අය ද කියා, DNA පරීක්ෂාවන් හරහා ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රමවේදයක් සකසා තිබේ ද?

5. ශුද්ධවූ කතෝලික සභාවේ 2267 වන ඉගැන්වීමට අනුව මොනයම් හේතුවක් නිසා වුවද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැරදි ය. ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ලිඛිතව තම අත්සනින් විරෝධය ප්‍රකාශ කර ඇත. එවැනි පසුබිමක් තුලදී, 2019.03.31 දින අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කොළඹ කතෝලික අගරදගුරු පදවිය මුල් කර ගෙන සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී වැඩ සටහනේ වේදිකාව, ජනාධිපතිවරයා විසින් කතෝලික ආගමේ ඉගැන්වීමට පටහැණි ව යමින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම, සමස්ත ශුද්ධ වූ කතෝලික සභාවට කරන ලද සෘජු අපහාසයක් නොවන්නේ කෙසේ ද?

මෙයට,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
මාධ්‍ය අධ්‍යක්ෂක

191 views