ජනාධිපති සමා නෑ.. බැදුම්කර හොරුන් සියල්ල හිරේ..

March 2, 2017 at 8:40 am | lanka C news
ජනාධිපති සමා නෑ.. බැදුම්කර හොරුන් සියල්ල හිරේ..

යහපාලන නාඩගමේ අවසානයක ආරම්භය සටහන් කළ බැඳුම්කර මගඩියේ කුණු කන්දල් මහින්ද රාජපක්ෂ මහතාගේ කර පිට පටවා අත සෝදා ගැනීමේ පහත් උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ලැජ්ජා නැතිකම මුදල් ඇමැතිකමටත් ‍වඩා ලොකුයි කීවාක් මෙන් බැඳුම්කර මගඩිය මහින්දගේ කර මත පැටවීමට ගිය මුදල් ඇමැතිවරයා හත් පොළේ ගාගනිමින් සිටින අතරේ හොරු ඇල්ලීමට ආ යහපාලන ආණ්ඩුවේ යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබෙන බවත් හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් උඩුගම්පොළ දී හමු වූ අවස්ථාවේදීය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත්‍ මෙසේද ප්‍රකාශ කළේය.

හොරු අල්ලන්න කියලා ජනතාවගෙන් බලය ගත්තු යහපාලන ආණ්ඩුව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි. ආණ්ඩුවේ අවසානය ආරම්භ වුණේ බලයට පත්වෙලා මාස දෙකක් ගෙවෙන්නත් පෙරයි. 2015 පෙබරවාරි මාසේ 27 වැනි දා මහ බැංකු බැඳුම්කර නිකුතුවේ දී කරපු මහා වංචාවත් සමඟ මේ ආණ්ඩුව අවසානය ආරම්භ වුණා. හොරු අල්ලන්න කියලා ආපු මේ ආණ්ඩුව නිකම් හොරු නෙමෙයි ‍කම්බ හොරු බව ඔප්පු වෙලා ඉවරයි.

බැඳුම්කර වංචාව කියන්නේ එක පුද්ගලයෙක් තනියම කරපු සරළ වංචාවක් නෙමෙයි. මේක ජනාධිපතිවරණයටත් පෙර සිටම ක්‍රියාත්මක වූ සැලැස්මක්. ජනාධිපතිවරණයෙන් බලය ලබා ගැනීමෙන් අනතුරුව තමන්ගේ සාක්කු පුරවා ගැනීම සඳහා මේ මහා වංචාව සැලසුම් කෙරුණා. ඒ අනුව තමයි බලයට පත් වෙලා මාස දෙකක් ගෙවෙන්නත් පෙර මේ වංචාව සිදුකෙරුණේ.

බැඳුම්කර ගනුදෙනු වගේ දේවල් සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාව තුළ දැනුමක් නැහැ. අන්න ඒ නොදැනුවත්කම ඉලක්ක කරගෙන තමයි මේ මහා වංචාව සැලසුම් කළේ. මේ අය හිතුවේ ජනතාවගේ නොදැනුවත්කම යොදාගෙන මේ වංචාව යට ගහන්නයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව නිසා බැඳුම්කර වංචාව යටගහන්න මේ අයට බැරි වුණා.

ගහන ගහන පදේට නටන විපක්ෂයත් හිලෑ වෙච්ච සිවිල් සමාජත් කුප්‍රකට විද්වතුනුත් මේ ගැන කවදාවත් කතා කරන්නේ නැති බව වංචාකාරයෝ දැනන් හිටියා. ඒ හින්දා බය නැතුව මේ වංචාව කළත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රටට ආදරය කරන මාධ්‍යවේදීන්, බුද්ධිමතුන් වගේ උදවිය එකතු වෙලා මේ ගැන ජනමතයක් රටේ හදලා ආණ්ඩුවේ නිරුවත එළි කළා.

අද මුළු රටම දන්නවා බැඳුම්කර හොරු කවුද කියලා. හොරු කවුද හොරු ආරක්ෂා කරන්නේ කවුද කියලත් ජනතාව දන්නවා. ගමේ මිනිහෙක් අල්ලපු ගෙදරින් පොල් ගෙඩියක් හොරෙන් කැඩුවත් පොලිස් කූඩුවේ දානවා. හැබැයි ජනතාවගේ සල්ලි බිලියන ගාණක් හොරකම් කරපු බැඳුම්කර වංචාකාරයන් අදටත් රටේ ඉහළ තැන්වල යහතින් වැජඹෙනවා.

වාහන අවභාවිතාව කියලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා රිමාන්ඩ් කළා. පළාත් පාලන ආයතනවලට යකඩ බට දුන්නා කියලා බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා රිමාන්ඩ් කළා. සිල් රෙදි බෙදුවා කියලා තවත් අය රිමාන්ඩ් කරන්න හදනවා. හැබැයි මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කාපු කාවවත් අද වෙනකම් ප්‍රශ්න කරන්නවත් පොලීසියට කැඳවලා නැහැ.

බැඳුම්කර හොරු තමන් වංචා කරපු ඒ මහා ධනස්කන්ධය යොදාගෙන දැන් රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය, මූල්‍ය ආයතන මිල දී ගනිමින් සිටිනවා. මේවා ගැන ආණ්ඩුවේ ඉන්න කවුරුත් වචනක්වත් කතා කරන්නේ නැහැ. අපි අහන්න කැමැතියි එදා හොරකම්වලට එරෙහිව සිංහ හඬ නඟපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද හීලෑ බලු පැටැවු වගේ ඉන්නේ තමුන්නාන්සේලාගේ නායකයොත් මේවට සම්බන්ධ නිසාද කියලා.

බැඳුම්කර වංචාව යහගහන්න දන්න තරම් සෙල්ලම් දාපු ආණ්ඩුවට රටේ විරෝධතාව නිසා යම් යම් පියවර ගන්න වුණා. මහා මගඩිය ගැන හොයන්න කෝප් කමිටුවට භාර වුණෙත් ජනාධිපතිවරයාට ඒ ගැන කොමිසම් පත් කරන්න වුණෙත් රටේ විරෝධතාව නිසයි. අපි නොහිටියා නම් අදටත් බැඳුම්කර හොරු ටික සද්ද නැතුව රටේ ආර්ථිකය සුද්ධ කරමින් ඉඳියි.

දැන් මේ හොරු ටික එකතු වෙලා ඒකේ වරදත් මහින්ද මහත්තයාගේ කරපිටට පටවන්න හදනවා. ආණ්ඩුවට අවාසි සහගත මොකක් වුණත් ඒක මහින්ද මහත්තයාගේ පිට දාන එක දැන් පුරුද්දක් වෙලා. නියඟයක් ආවත් මහින්ද, හොරකමක් වුණත් මහින්ද. අන්තිමේ දී බලද්දි බැඳුම්කර වංචාවේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නෙත් මහින්දලු. මොන විහිලුද මේවා?

මහින්ද මහත්තයා ජනාධිපති ධූරයෙන් ඉවත් වුණාටත් පස්සේ සිදු වූ බැඳුම්කර වංචාව ගැන ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ එතුමාගේ නමින්. මුදල් ඇමැති මේ වගේ චෝදනා කරන්නේ රෙදි ඇඳගෙනද කියලා අපි අහනවා. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලයි එදා කිව්වේ. දැන් කියන්න වෙන්නේ ලැජ්ජා නැතිකම මුදල් ඇමැතිකමටත් වඩා ලොකුයි කියලයි. ඒ තරමට බාල්දු වෙලා.

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහින්ද මහත්තයා ගැන බොරු කියලා ජනතාව රැවට්ටුවා වගේ මේ‍ පාරත් බොරුවෙන් දිනන්න මේ අය හිතාගෙන හිටියට වැඩක් නැහැ. ජනතාව දැන් මේ අයගේ බොරුවලට රැවටෙන්නේ නැහැ. බොරුවෙන් රජ කරපු කාලේ ගියා. දැන් ඇවිත් තිබෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින කාලයයි. ඒ බව කවුරු කවුරුත් මතක තබා ගත යුතුයි.

මේ ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. තව ටික කාලයක් යනකොට මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා. ආණ්ඩුව ගෙදර ගියාට හොරුන්ට නම් ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් මේ රටේ හදන ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුවේ ඉන්න හොරු ටික යවන්නේ ගෙදර නෙමෙයි හිරගෙදරයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ හැමෝටම ලොකු පොඩි බේදයකින් තොරව හිරගෙදර ඉන්න පුළුවනි.

අපේ ආණ්ඩුවේ ප්‍රමුඛම කාර්යභාරය මේ හොරු ටික කූඩු කරන එකයි. ජනාධිපති සමා, අර සමා, මේ සමා නැහැ. කවුරු කවුරුත් කරපු දේවල් විඳවන්න ඕනේ. හොරකමට ආධාර කරන අය වගේම හොරකම දැක දැකත් නිහඬව ඉන්න අනෙක් උන්නැහේලාටත් හොර ආණ්ඩුවලට ජැක් ගහපු උන්නැහේලාටත් එකටම හිරගෙදර ඉඳන් අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් වෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

53 views
Main News