ජල ගැලුම් නිම්න වනෝද්‍යානය දෙපළු කරමින් මාර්ගයක්..

November 17, 2020 at 12:40 pm | lanka C news
ජල ගැලුම් නිම්න වනෝද්‍යානය දෙපළු කරමින් මාර්ගයක්..

වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය විසින් වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

2020 නොවැම්බර් 15 වෙනි දින පොලොන්නරුව පුලතිසි චන්‍ද්‍ර මණ්ඩපයේදී විදුලි වැට, අගල් ඉදිකිරීම් හා වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව දන්වා සිටිමි.

මනම්පිටිය මහවැලි ගඟ පාලම ස්ථානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තර වනසේ යක්කුරේ දක්වා මාර්ගයක් ඉදි කිරීමට දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන් අප සංගමයට තොරතුරු වාර්තාවී ඇත.

රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීමයි. ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වේ. වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්වේ. ඉන් සිදුවන්නේ ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමයි.

යක්කුරේ ගම්වාසීන්ට දැනට පොලොන්නරුව සිට මහියංගණය දක්වා දිවෙන කාපට් ඇතිරූ මාර්ගය ඔස්සේ යක්කුරේ දක්වා ප්‍රවාහණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබියදී ශ්‍රී ලංකාවටම අගනා වියලි කලාපයේ පවතින මෙවැනි එකම තෙත් බිම් ජාතික වනෝද්‍යාණය මැදින් මාර්ගයක් තැනීම මගින් තවත් මෙවැනිම මහජන ඉල්ලීම්වලට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන බවත්, මෙවැනි මහජන අවශ්‍යතා සඳහා කෙටි මාර්ග සෙවීම ඥාණාන්විත නොවන බවත් අප සංගමය සැලකර සිටිමු.

එසේම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13 ක් දිගින් මෙම මාර්ගය ඉදි කිරීම නිසා දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමද අනිවාර්යෙන් සිදුවන්නකි- එමෙන්ම දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව බරපතල පාරිසරික විනාශයක් සිදුවීමට අඩිතාලම වැටෙන බව අප සංගමය කියා සිටිමු.

මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ හේතුව නිසා දැඩි වන අලි ගැටළුවකට මුහුණපෑමට ස්ථිරවම සිදුවන බව ප්‍රකාශකර සිටිමි- නිලධාරීන්ගේ විරෝධය මැද මෙ සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඉදිරියේදී මුහුණපෑමට සිදුවන පාරිසරික හා සමාජයීය ගැටළුවලට, මෙයට නායකත්වය දෙන සෑම පුද්ගලයෙකුම වගකිවයුතු බව අවධාරණයෙන් කියා සිටිමි.

එසේම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වනසතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන බව දන්වා සිටිමි- එසේ කිරීමට අවශ්‍යවන්නේ නම් ක්‍ෂෙත්‍රයේ වගකිවයුතු පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් පසුව දීර්ඝකාලීන සැලැස්මකට අනුව එය කලයුතු බවත් සංගමයක් ලෙස අප දන්වා සිටිමු- මේ වන විටත් පිවිසුම් මාර්ග දෙකක් ඇලහැර කිරිඔය ප්‍රදේශයෙන් සහ හඳුන්ගමුව ප්‍රදේශවලින් ලබාදී ඇති බවත් දන්වා සිටිමු.

ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දැක්ම කරා ගෙනයාමට නම් හුදෙක් වනජීවී සම්පත් සෘජුව පරිභෝජනය කිරීම වෙනුවට වනජීවී සංරක්‍ෂණය තුලින් ලැබෙන්නාවූ අති මහත් ප්‍රතිලාභ මැනැවින් හඳුනාගෙන ඒ ඔස්සේ රට මෙහෙයැවිය යුතුබව අප සංගමය අවසන් වරට වගකිවයුතු සෑම පාර්ශවයකින්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. වීරසේන
ලේකම්
වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය

24,774 views

4 Comments to “ජල ගැලුම් නිම්න වනෝද්‍යානය දෙපළු කරමින් මාර්ගයක්..”

  1. මේ කාපලු පොහොට්ටු අමන හැත්ත වනසන්නේම , මෙරට වටිනා පාරිසරික පද්දති සමූහය ! එකෙක් වානතවිල්ලු වල රැම්සා අබයබූමි වනසද්දී, තව ඇමති ගොබිලෙක්,හම්බන්තොට කඩොලාන වනසනවා, දැන් වස්ගමුව වනසනවා. වනයක වටිනාකම නොදත් අමනයින්ට ඇමතිකම් දුන්න, අගමැති, ජනපති, පරිසර ඇමති, කැබින්ට්ටුව, වියත්මග set එක කෝ?

  2. RW says:

    If things continue like this , no point in having a Department of Wild life . Abolish the department and handover all the forests and wild life to politicians .

  3. බන්ගොයියා says:

    ඡන්දෙට කලින් සෞභාග්‍යයේ දැක්ම. දැන් දුර්භාග්‍යයේ දැක්ම. තව යමල්ල. උඹලට තේරෙයි කරපු අමන වැඩේ.

Main News