ජාත්‍යන්තර බිහිරි දින සැමරුම යාපනයේදී…

September 27, 2017 at 2:05 am | lanka C news
ජාත්‍යන්තර බිහිරි දින සැමරුම යාපනයේදී…

ජාත්‍යන්තර බිහිරි දිනය (ජගත් බිහිරි දිනය) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති සෑම වසරකම සැප්තැම්බර් මාසයේ 4 වැනි දින පවත්වනු ලබන සැමරුම් උළෙලකි. මෙම වසරේ ජාත්‍යන්තර බිහිරි දින සැමරුම් උළෙලේ තේමාව වුයේ ‘‘සංඥා භාෂාව සමඟ පූර්ණ අන්තර්කරණය’’ වේ යන්නයි.

ශ‍්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය මෙම තේමාව යටතේ සැමරුම් උත්සවයක් 2017.09.25 වැනි දින උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය දිස්ත‍්‍රික් සමූපකාර සභා රැුස්වීම් ශාලාවේදී පැවැත්වින.

මෙම වර්ෂයේදී පැවැත්වෙන ජාත්‍යන්තර බිහිරි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගෙන උතුරු පළාතේ පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ විශේෂයෙන් වසර 30කට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය නිසා බොහෝ සෙයින් අපහසුතාවයට පත්වූ එහි වෙසෙන බිහිරි ප‍්‍රජාව වෙනුවෙනි.

අනිකුත් දිස්ත‍්‍රික්කවල වෙසෙන බිහිරි ප‍්‍රජාව දෙස සාපේක්ෂව බලන කල උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන බිහිරි ප‍්‍රජාව සෑම අතින්ම දුෂ්කරතාවලට මුහුණ පා ඇත. එසේ හෙයින් ජාත්‍යන්තර බිහිරි දිනය උතුරු පළාතේ පැවැත්වීමටත් ඊට සමගාමීව පොදු ජනතාව දැනුවත් කිරීමේ සාම පාගමනක් සහ සිංහල දමිළ බිහිරි ප‍්‍රජාවන් අතර සංස්කෘතික සංදර්ශනයක්ද පවත්වනු ලැබින.

මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් දහසකට ආසන්න බිහිරි ප‍්‍රජාවක් මෙම අවස්ථාවට සහභාගිවූ අතර සමාජ සුභ සාදන අමාත්‍ය එස් බී දිසානායක මහතා, උතුරු පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා, ශ‍්‍රී ලංකා බිහිරිවූවන්ගේ සම්මෙලනයේ සභාපති බ‍්‍රයන් කොඩිතුවක්කු මහතා, සංගමයේ උප සභාපති සීවලී සෙනරත්න මහතා ඇතුලූ රාජ්‍ය හා දේශපාලන අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

– උතුරු පළාත් ආණ්ඩුකර මාධ්‍ය ඒකකය

317 views
Main News