ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ජනතාව අමාරුවේ දාන බදු පනතක්…

February 4, 2017 at 3:50 pm | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ජනතාව අමාරුවේ දාන බදු පනතක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමස්ත ජනතාවම පීඩාවට පත්වන ආකාරයේ බදු ඇතුළත් කරමින් අලුත් බදු පනතක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

මේ අලුත් බදු පනත ඉතාමත් රහසිගත ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වනවිටත් කෙටුම්පත් කොට අවසන් කර ඇති අතර එයට නීතිපති දෙපාර්තමේන්තුව හරහා අනුමතය ලබාදීමට රජයේ ප්‍රබලයකු මුල්වී කටයුතු කරමින් සිටී.

බදු පනතේ සංශෝධනයක් සිදුකිරීම හෝ අලුතින් පනතක් හඳුන්වා දීම සිදුකළ යුතුව ඇත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුව විසිනි. ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයත් වූ එම ක්‍රියාවලිය විදේශීය ආයතනයක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකිරීම බරපතළ අර්බුදයකට තුඩු දී තිබේ.

මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කර ඇති අලුත් පනත මඟින් සෑම පුද්ගලයකුගෙන්ම කිසියම් හෝ සෘජු බද්දක් අය කර ගැනීමට සැලැසුම් කර තිබේ. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක මුදල් සහ පාරිතෝෂික මුදල් ලබාගැනීමේදීත් රජයේ සේවකයන් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා ගැනීමේදීත් මේ පනත මඟින් බද්දක් පනවා ඇත.

මූල්‍ය අරමුදල විසින් මේ අලුත් බදු පනත සකස් කර ඇත්තේ දැනට රටේ පවතින බදු ප්‍රතිපත්ති, බදු ව්‍යුහය, නීති රීති සහ මූලික සැකැස්ම ආදී සියල්ල උල්ලංඝනය කරමින් බව මේ පිළිබඳව අප කළ විමසීමකදී දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසීය.

මේ පනත ක්‍රියාත්මක කළහොත් පවතින නීති රීති සහ ක්‍රමවේදයන්ද වෙනස්වීම නිසා බදු නිලධාරීන්, බදු උපදේශකයන් මෙන්ම පෞද්ගලික සමාගම් සහ ඒවායේ ගිණුම්කරණ කටයුතු අවුල් ජාලයක් වනු ඇති බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මෑතකදී පරිගණක මෘදුකාංග සඳහා වැය කරන ලද රුපියල් කෝටි පන්සීයක මුදල වතුරේ යනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් කරන ලද ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද උදයසිරි මහතා වැඩිදුරටත් පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කර ඇති අලුත් බදු පනත ගැන විමසීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මියව සම්බන්ධ කරගැනීමට අප දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

පසුගිය සතියේ දින කිහිපයක්ම දහනායක මහත්මිය මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

සපුමල් ජයසේන
– මව්බිම

50 views

2 Comments to “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ජනතාව අමාරුවේ දාන බදු පනතක්…”

  1. රන්දික මනෝජ් කුරේ says:

    මේවා හෙන ගහන අපරාධ

  2. Critic says:

    It’s right time for all patriotic foces in the country to topple this nasty regime!

Main News