ජාතික පාසල් අනතුරේ; විදුහල්පතිවරු ඉවතට…!

July 29, 2018 at 6:48 pm | lanka C news
ජාතික පාසල් අනතුරේ; විදුහල්පතිවරු ඉවතට…!

ජාතික පාසල්වල සේවය කරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන් පාසල් හැර යෑමේ බරපතළ අවදානමක් මතුව තිබේ.

මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාව නොසලකා නවක විදුහල්පතිනියන් කිහිපදෙනකුගේ සුදුසුකම්වලට ලකුණු ලැබෙන පරිදි විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය සකස් කර තිබීමය.

ජාතික පාසල් 302 කට විදුහල්පතිවරුන් බඳවාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අයැදුම්පත් කැඳවා ඇති අතර මෙම ලකුණු පටිපාටිය සකස් කර ඇත්තේ ඒ සඳහා ය.

මෙම අයැදුම්පත් කැඳවීමට අනුව එකම ජාතික පාසලේ අට වසරකට අධික සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන්ට ද දැඩි අසාධාරණයක් සිදුවී තිබේ. එවැනි සේවා කාලයක් සපිරූ විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේ ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක නොකර එම පාසල් සඳහා ද අයැදුම්පත් කැඳවා ඇත. ඒ අනුව දැනට අට වසරකට අධික සේවා කාලයක් සපුරා සිටින විදුහල්පතිවරු ද යළි විදුහල්පති තනතුරු සඳහා අයැදුම් කළ යුතුය. එහෙත් අයැදුම් කළහැකි වන්නේ ද විශ‍්‍රාම යෑම සඳහා අවම වශයෙන් වසර තුනක සේවා කාලයක් සහිත විදුහල්පතිවරුන්ට පමණක් වන අතර එම කාලයට අඩු විදුහල්පතිවරු යන එන මං නොමැති තත්ත්වයකට පත්ව සිටිති.

කොළඹ විශාඛා, දේවි බාලිකා, ගම්පහ රත්නාවලී, මහනුවර පුෂ්පදාන, උසස් බාලිකා සහ මාතර සුජාතා යන පාසල් ඇතුළු පාසල් විස්සක පමණ විදුහල් ප‍්‍රධානීහු මෙම ගැටලූවට මුහුණ දී සිටිති.

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා අමාත්‍යාංශය සකස් කර ඇති ලකුණු පටිපාටියට අනුව සේවා පළපුරුද්දට ලැබෙන උපරිම ලකුණු සංඛ්‍යාව 20 කි. වසරකට ලකුණු 2 බැගින් වසර දහයක් සඳහා මෙම ලකුණු හිමිවන අතර වසර විස්සකටත් අධික සේවා කාලයක් සහිත විදුහල්පතිවරු එහිදී බරපතළ අසාධාරණයකට ලක් වෙති. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දැනුම සඳහා ද ලකුණු 15 ක් වෙන් කර තිබේ. ඊට අදාළ පශ්චාත් උපාධිය සඳහා එම ලකුණු හිමිවන අතර ගුරුවරයකුට අවශ්‍ය වන සුදුසුකමක් විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ ලකුණු පටිපාටියකට ඇතුළත් කිරීම විහිළුවක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

ඉංගී‍්‍රසි භාෂා නිපුණතාව මෙතෙක් අනිවාර්ය නොවූ නමුත් මෙවර එය අනිවාර්ය කිරීම මගින් ජ්‍යෙෂ්ඨයන් ඉවත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වන බවද අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උසස් නිලධාරීහු පෙන්වා දෙති.

සේවා කාලයට ලකුණු දීම උපරිම දස වසරකට සීමා කිරීම නිසා ජාතික පාසල් විදුහල්පති තනතුරුවල වසර ගණන් වැඩ බලමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද සිදුවන්නේ දැඩි අසාධාරණයකි. තවද ලකුණු පටිපාටියට අනුව විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය සම තත්ත්වයේ ලා සලකා තිබීමෙන් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබේ.

අධ්‍යාපන සේවා කමිටුව මෙම ලකුණු දීමේ පටිපාටිය අනුමත කර ඇත්තේ කවර පදනමකින් ද යන්න ගැටලූවක් යැයි උසස් නිලධාරීහු පවසති.

අවම වශයෙන් පාසල් කළමනාකරණය හෝ පන්ති කාමර කළමනාකරණය සම්බන්ධ සුදුසුකම් සඳහා ලකුණු දීමේ ක‍්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම ද බරපතළ තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වා දෙති.

– divaina

169 views