ජාතියට සැනසීම ගෙනදුන් රණවිරුවන් වැනසීමට ලක් වන කාලයක්…

May 22, 2017 at 4:40 pm | lanka C news
ජාතියට සැනසීම ගෙනදුන් රණවිරුවන් වැනසීමට ලක් වන කාලයක්…

යුද බියෙන් මරණ බියෙන් ගලවා ගෙන මුළුමහත් ලංකේය ජාතියට සැනසීම ලබාදුන් රණවිරුවන් වැනසීමට ලක්වන කාලවකවානුවක් උදාවී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

දෙමළ බෙදුම්වාදීන්ගේ සහ මේ රට තම කොලනියක් බවට පත්කර ගැනීමට බලා සිටින බලවත් රටවල උවමනාව මත මේ රූකඩ හවුල් අෘණ්ඩුව දැනට සම්මත කරගෙන ඇති ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ සහ ඉදිරියේදී සම්මතර කර ගැනීමට නියමිත ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත’ මගින් යුද ජයග්‍රහණය ලබා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් වැනසීම සිදු කෙරෙනු ඇති බව ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සැවසුවේ අද(21) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.

“2015 ජනවාරි 08 වැනිදා සිට මේ රූකඩ ආණ්ඩුව කටයුතු කෙළේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ලාංකේය ජාතිය මරණ බියෙන් ගලවාගෙන සැනසීම උදාකර දුන් රණවිරුවන් වැනසීමට ලක් කිරීමටයි. රණවිරුවන් ජාතියට එවැනි විජයග්‍රහණයක් ලබා දී වසර 08ක් සම්පූර්ණ වන මේ මොහොතේ ද ඔවුන්ට එරෙහිව භයානක උගුලක් ඇටවීමට මේ අය සූදානම් වෙනවා. ඔබට මතක ඇති, ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයේ ද සම අනුග්‍රාහකත්වය සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතකරගත් 2015 30/1 යෝජනාවලිය. ඒ යෝජනාවලියේ තිබූ එක් නිර්දේශයක් තමයි ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමට නීතියක් හැදීම. ඒ අනුව තමයි මේ රූකඩ ආණ්ඩුව තම බහුතර බලය යොදා ගනිමින් ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත්’ සම්මතරකර ගත්තේ. එම පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් අවස්ථාවේ රටට හොරෙන් ඔවුන් රණවිරුවන් දංගෙඩියට යවන තවත් උගුලක් අටවනු ලැබුවා. ඒ තමයි, ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම. සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තියකට’ කැබිනට් අනුමැතිය ලබා දීම. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මෙවැනි බලවත් ජාත්‍යන්තර ප්‍රඥප්තියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම. නමුත් 2016-05-26 වැනිදා පාරිලිමේන්තුවටත් හොරෙන් සිරිසේන – වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුමැතිය ලබාදී එය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගනු ලැබුවා. එදිනම කැබිනට් අනුමැතිය ලැබුණු ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත’ පසුව පාර්ලිමේන්තුවේදී සම්මත වූවා. ඒ හරහා රණවිරුවන්ට එරෙහි චෝදනා ෆැක්ටරියක් ලෙස කටයුතු කළ හැකි, සාක්ෂි ආඥා පනත ද නොසලකා කටයුතු කළ හැකි අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

‘මන්ත්‍රීවරුන්ගේ ඇස්වලටත් වැලි ගහලා’

ඒ වගේම කැබිනට් අනුමැතිය ලැබුණු ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වූ පනත. සම්මතකර ගැනීම පිණිස 2017 මැර්තු මස 07 වැනි දින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එතැනදීත් මේ සිරිසේන – වික්‍රමසිංහ පාලනය සිදු කළේ ‘කොලේ වහලා ගැහීමක්. මේ පනත් කෙටුම්පත පළමුවර කියවීමට අගමැතිවරයා විසින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ ‘ජාත්‍යන්තර ප්‍රඥප්තිය ද’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් මේ හොර ආණ්ඩුව එය ලබා දීම සිදු කළේ නැහැ. ‘මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මේ රටේ ස්වෛරීභාවයට, පුරවැසියන්ට, රණවිරුවන්ට බලපාන්නේ කෙසේද?’ කියා අප විමසා බැලිය යුතුව තිබෙනවා. නමුත් ‘ජාත්‍යන්තර ප්‍රඥප්තියේ’ පිටපත් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඇස්වලට වැලි ගහලයි මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට උත්සාහ ගන්නේ.

‘හොරෙන් ගෙනෙන ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත’

මම 2017-04-05 වැනිදා කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා ‘ජාතියම අනතුරේ හෙළන ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අපේ රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කිරීමට ගෙන ආ මෙම පනත් කෙටුම්පත සමඟ අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පිටපත් මන්ත්‍රිවරුන්ට මෙතෙක් ලබා දී නැහැ. ඒවා ලබා දෙන්න’ කියා. කථිනායකවරයාත් ඒ බව මා දැනුම්වත් කරන තෙක් දැන සිටියේ නැහැ.

දැන් අපි විමසා බලමු, ‘මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත කාටත් හොරෙන් සම්මත කරන්න හදන්නේ ඇයි?’ කියා. පළමුව කිව යුතුයි ‘මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් යුද ජයග්‍රහණයට මුල් වූ සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් සියලු දෙනා බරපතළ අනතුරකට මුහුණ දෙනවා’ කියා. අතුරුදහන් වීමකට චෝදනා එල්ල වී ඇති රණවිරුවකුට එරෙහිව මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කර ඇති රටක යම් තැනැත්තෙකුට එරට අධිකරණයක නඩු පැවරීමට මේ නව නීතියෙන් (පනතින්) අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ප්‍රදීප් එක්නැලිගොඩ නම් වු මාධ්‍යවේදී වේෂයෙන් පෙනී සිටි කොටි ත්‍රස්තවාදියා අතුරුදහන් කළ බවට අභූත චෝදනා එල්ල කළ රණවිරුවන්ට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයකුට ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපයේ අධිකරණයක නඩු පැවරීමට මේ නව නිතියෙන් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ නඩු පැවරූ රණවිරුවා තම රටට භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමේ අවකාශය ද එම නඩුව විභාග වන අධිකරණය සතු රටට ලැබෙනවා. ඒ අනුව පැහැදිලියි, මේ රටේ නඩු අහලා රණවිරුවන් දංගෙඩියට දක්කන්න බැරිනම් පිටරට අධිකරණයකට කුදලාගෙන ගිහිල්ලා නඩු අහලා ඔවුන් දංගෙඩියට දක්කන්නයි මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත ගෙනවිත් තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි, ‘යම් අතුරුදහන් කිරීමකට නියෝග නිකුත් කිරීම’ යන චෝදනාව යටතේ මේ පනතින් සේනාධිනායකයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලයන් වගඋත්තරකරුවන් කිරීමේ ඉඩකඩ ද තිබෙනවා. ඒ නිසා මේ නව නීතිය පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට ඉඩ දිය යුතු නැහැ. ඊට එරෙහිව ඡන්දය දෙන ලෙස තමන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර යැවූ මහජන නියෝජිතයන්ගෙන්, මහජනතාව බලකර ඉල්ලා සිටිය යුතුයි.

ඒ වගේම අපි සිරිසේන-වික්‍රමසිංහ පාලනයෙන් ද ඉල්ලා සිටින්නේ ‘මේ මහ දවල් සිදු කරන පාවාදීම වහා නතර කරනු!’ කියලයි”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

22 views
Main News