ජැක් ලීවරයෙන් හිසට ගසා අනියම් පෙම්වතිය මරා දමයි..

June 16, 2018 at 8:40 am | lanka C news
ජැක් ලීවරයෙන් හිසට ගසා අනියම් පෙම්වතිය මරා දමයි..

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පහර දී ඝාතනය කර හදිසි අනතුරකට ලක් වූ බව පවසා බළපිටිය මූලික රෝහලට බාර දෙන ලද ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඇයගේ අනියම් පෙම්වතා ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (15) සවස ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්  ජනක රුවන්පුර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 ජූනි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පරප්පුව, පැලෑගස්පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි හේවගේ තිලාන් ජයසිංහ (27) නැමැති අයයි. ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංගි සදමාලී නැමැති 24 හැවිරිදි අවිවාහක තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

විවාහකයෙකු වන සැකකරු, ඝාතනයට ලක් වූ අවිවාහක තරුණිය සමග දීර්ඝ කාලයක සිට අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. සැකකරුට අයත් වෑන් රථයෙන් සැකකරු සමග මෙම තරුණිය බොහෝ අවස්ථාවල  විවිධ ගමන් බිමන්ද ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඇගළුම් කම්මලක සේවය කරන ඝාතනයට ලක් වූ තරුණිය සේවය නිම වී පසුගිය 12 දින රාත්‍රී නිවසට පැමිණෙමින් සිටියදී සැකකරු විසින් සිය වෑන් රථයට නංවාගෙන තිබේ. එයින් පසුව දෙදෙනා අතර ඇති වූ කතාබහක් බහින්බස් වීමක් දකවා දුරදිග ගොස් ඇත. එහිදී ඝාතනයට ලක් වු තරුණිය, සැකකරුගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කර තිබෙන බවත් එයින් පසු සැකකරු වාහනයේ ජැක් ලිවර් එක රැගෙන තරුණියට පහරක් එල්ල කර ඇති බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. තරුණියගේ හිස ඉලක්ක කරගෙන එල්ල කරන ලද එම පහර බෙල්ලට වැදුන බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. එයින් පසුව තරුණිය සිහි සුන්ව ඇද වැටී ඇති බවත් සිය වෑන් රථයෙන්ම තරුණිය බළපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. තරුණිය රෝහල කරා රැගෙන යන ලද 251-4887 අංකය දරණ වෑන් රථයද පොලීසියේ භාරයට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල් කේ සී ඩී ආරියරත්න මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. බෙල්ලට වැදුන පහරින් බෙල්ල හරහා කුඩා මොළයට රුධිරය ගලායන නහරයක් පිපිරී කුඩා මොළයට රුධිරය වහනය වීමෙන් මරණය සිදුව තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සදහන් වේ.

සැකකරු ඉකුත් 12 දා රාත්‍රී වෑන් රථයෙන් තරුණිය බළපිටිය මූලික රෝහලට රැගෙන විත් තිබේ. අනතුරකට ලක්ව පාරේ වැටී සිටි තරුණියක් රැගෙන ආ බව පවසා තරුණිය රෝහලට බාර දී සැකකරු පිටත්ව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් රෝහල් සේවකයින්ට සැක සිතී ඔවුන් වෑන් රථයේ අංකය සටහන් කර ගෙන තිබේ. වෑන් රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඝාතනයට ලක් වූ තරුණියගේ මව වන ලලිතා විජේසේකර (51) මහත්මියද 12 දා රාත්‍රී 11.40 ට සිය දියණිය නිවසට නොපැමිණි බවත් ඇය අතුරුදන්ව ඇති බවටත් ඌරගස්මන්හන්දිය පොලීසියට පැමිණිල්ලක් කල බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

‘‘මම දියණියට දුරකතනයෙන් කතා කළාම අම්මේ කියනවා, එච්චරයි. දුරකතනය විසන්දි වෙනවා. 12 දා රාත්‍රී 11.00 ට පමණ කාන්තාවක් තමන්ගේ ජංගම දුරකතනයට කතා කර, දුවට අපි කරන්න ඕනෑ දේ කලා‘‘ යැයි පවසා දුරකතනය විසන්දි කල බවට ඝාතනයට ලක් වූ තරුණියගේ මව විසින් කළා යැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. සැකකරුගේ විවාහක බිරිය විසින් මෙම ඝාතනය කල බව හැගවෙන ආකාරයට තරුණියගේ මව විසින් මෙම ප්‍රකාශය කර තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුගේ විවාහක බිරිය මීට වසර දෙකකට පමණ පෙර සැකකරු අතහැර ගොස් තිබෙන බවත් ඇය එයින් පසුව සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

42 views

3 Comments to “ජැක් ලීවරයෙන් හිසට ගසා අනියම් පෙම්වතිය මරා දමයි..”

  1. සුනිමල් says:

    Can such things happen in this blessed Sinhala Buddhist country? Buddhists murdering Buddhists…..????

  2. damian says:

    අම්මත් අරූ එක්ක ජිල් මාල් එකක් වගේ. දුවගෙ මිනී මැරුමට අහිංසක ගෑනි හිරේ යවල දෙන්න එක්ක ජෝගි නටන්න​.

  3. john the baptice says:

    යමපාලනයේ ප්‍රතිපල

Main News