ජිනීවා මානව හිමිකම් සැසියට උතුරේ වැසියන් ලක්ෂයකගේ පෙත්සමක්…

February 21, 2019 at 8:02 am | lanka C news
ජිනීවා මානව හිමිකම් සැසියට උතුරේ වැසියන් ලක්ෂයකගේ පෙත්සමක්…

යුද සමයේදී අතුරුදහන් වූවන්ට සාධාරණයක් කර දෙන මෙන් ඉල්ලා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගේ අත්සන් ලක්ෂක පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා එම පෙත්සමට අත්සන් ලබා ගැනීම මේ දිනවල උතුරු ප්‍රදේශයේ ආරම්භ කොට ඇත.

ලබන මාර්තු මාසයේදී ආරම්භ වන ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ හතළිස් වෙනි සැසිවාරයට මෙම පෙත්සම ඉදිරිපත් කරණු ලබන්නේ යුද සමයේදී අතුරුදහන් වූ පිරිසට සාධාරණයක් ලබා ගැනීමේ අරමුණිනි.

යුද සමයේදී පුද්ගලයින් අතුරුදහන් වූ පවුල්වල සාමාජිකයින් හා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා පිහිටුවා ගෙන ඇති ස්වෙච්ඡා සංවිධාන විසින් මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම සංවිධානය කොට ඇති අතර එය මුලතිව් දිස්ත්‍රීක්කයෙන්  ආරම්භ කොට ඇත.

උතුරේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ද මේ පෙත්සමට අත්සන් ලබා ගැනීම සදහා  සහය පලකොට ඇති අතර ඒ සදහා දකුණේ ස්වේච්ඡා සංවිධාන දෙකක්ද එක් වී ඇත.

මේ සංවිධාන විසින් ඔවුන්ගේ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ  යුද සමයේදී අතුරුදහන් වූ පිරිස විසි දාහසකට ආසන්න නමුත් කිසිදු රජයකින් ඔවුන්ගේ පවුල් වලට මේ දක්වා සාධාරණයක් ඉෂ්ඨ කොට නොමැති බවත් මේ පිරිස වෙණුවෙන් කටයුතු කිරීමට බව පවසා කලින් පිහිටුවන ලද මැක්සල් පරණගම කොමිසම ජනතාවගේ මුදල් හා කාලය කා දැමීමත් රටේ මුදල් කාබසිනියා කිරීමත් පමණක් සිදු කළ බව එම පෙත්සමේ සදහන් වෙයි.

ඉන් පූර්වාදර්ශයක් ලබා නොගත් වත්මන් රජයද යුද සමයේදී අතුරුදහන් වුවන් පිළිබදව සොයා බැලීමට විශේෂිත කාර්යාලයක් පිහිටුවා ඇතත් ඒ කාර්යාලයට ජනතාවට පැවසීමට ඇත්තේද මෙතෙක් පවසා ඇත්තේද පැරණි කතාවම නිසා වත්මන් කාර්යාලයෙන් මේ පිරිසට කිසිම සහනයක් නොලැබෙන බවද සදහන් කොට තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ තිස් හත් වෙනි සමලුවේදී යුද සමයේදෙ අතුරුදහන් වූවන් වෙණුවෙන් ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණයක් ජිනීවා මානව හිමිකම් කමිටුව මගින් ශ්‍රී ලංකා රජයට යෝජනා කළද ඊට රජය කිසිදු අනුකුලතාවයක් නොදැක් වූ බව පෙත්සමේ සදහන් වෙයි.

ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් නිර්දේශ කරණ ලද යාන්ත්‍රණය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට වසර තුනක කාලයක් ගත වී ඇතත්  ඒවා ඉටු කිරීමට නොහැකි වී ඇති නිසා මේ සදහා ඉතිරිව ඇති එකම දේ රජයට බලපෑම් කිරීම පමණක් බවද පෙත්සමේ සදහන් කොට ඇත.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට සහභාගි වන රජයේ නියෝජිතයෝ පුරුද්දක් වශයෙන් කරණු ලබන්නේ කමිටුව විසින් යෝජනා කරණු ලබන දේට කල් ඉල්ලා සිටීම නිසා අතීතයේදී යෝජනා වූ මේ කාරණය සම්බන්ධයෙන් යළි කල් ලබාදීමක් සිදු නොකරණ ලෙසටද පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,406 Viewers

One Comment to “ජිනීවා මානව හිමිකම් සැසියට උතුරේ වැසියන් ලක්ෂයකගේ පෙත්සමක්…”

  1. Sanidu Sooriarachchi says:

    සිංහල අපි හැම වෙලාවෙම ප්‍රමාදයි.
    අපිත් ත්‍රස්තවාදයෙන් බැට කෑ අයෙගේ, අතුරුදහන් වූ හෝ බෝම්බ ප්‍රහාර වලට ලක් වූ අයගේ අත්සන් අරන් සුදුසු documents ඉදිරිපත් කරමු. ඕන තරම් case studies කරන්න පුළුවන් නේ.

Main News