ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගා කම්මුල් පාරක් ගහයි..

March 6, 2017 at 12:25 am | lanka C news
ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගා කම්මුල් පාරක් ගහයි..

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම යන කරුණු 2017 ඔක්තෝබරයට පෙර ඉටු කරන ලෙස ‘ආණ්ඩුවට කම්මුල් පාරක් දී තරවටු’ කර ඇති ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් බේරාගත් හමුදාව පාවා දීම පිළිබඳව තුති පුදමින් ආණ්ඩුවේ ‘කණ අතගා’ ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2016-2017 වසරට අදාළ වාර්තාව දැන් නිකුත් වී තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කිරිමටත් නියමිතයි.

මෙම වාර්තාවෙහි ශ්‍රී ලංකාව පිළිබඳ කොටස අධ්‍යයනය කළාම ඉතා පැහැදිලි වෙනවා ‘ඔවුන්ගේ උපාය මාර්ගික උවමනාව කුමක්ද?’ කියා. එක පැත්තකින් 2015 ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවෙහි සඳහන් ඇතැම් කරුණු ඉටු කිරීම පිළිබඳව ඇගයීමක් කරන ගමන් අනෙක් පැත්තෙන් ඉටු කළ දේ ඉටු කරවා ගැනීමට ආණ්ඩුවට පීඩනයක්, තෙරපුමක් ඇති කිරීමයි මෙමගින් සිදුකර ඇත්තේ. ‘කණ අතගාන ගමන්, කම්මුල් පාරකුත් ගහනවා.’ මේ ආණ්ඩුවට පෙනෙන්නේ කණ අතගාන එක විතරයි. කම්මුල් පාර ගහන එක ඉවසන ගමන් ‘අපේ කණ අත ගෑවානේ’ කියා සතුටු වෙනවා. අපට පැහැදිලිව කිව හැකියි, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් තමන්ගේ ඉලක්කය කරා 2015 ඔක්තෝබර් සිට ඉදිරියට ගමන් කරන බව.

ශ්‍රී ලංකාවේ ද කැමැත්ත ඇතිව 2015 ඔක්තෝබරයේදී අත්සන් තැබුණු, ඇමෙරිකා එක්සත් ජනපදය ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවෙන් ප්‍රධාන වශයෙන් කරුණු 04ක් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමුවැන්න සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් ඇරඹිම. මගංල සමරවීර මහතා තමන්ගේ මෙවර ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදි සිදු කළ කතාවේදි කියනවා ‘සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය ඉදිරියට යනවා. අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කරලා තව මාස කිහිපයකින් අපි සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට කටයුතු කරනවා’ කියලා. මේ සත්‍ය සෙවීමේ ක්‍රියාවලියේ සහ කොමිසමක් පිහිටුවීමේ මූලික අරමුණ තමයි, දිගුකාලිනව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට ක්‍රමවේදයක් සකසා ගැනීම.

ජිනීවා යෝජනාවෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ දෙවැනි කරුණ තමයි වගවීමේ ක්‍රියාවලිය. තුන්වැන්න වින්දිතයන්ට සහන සැලසීම. හතරවැන්න තමයි ගැටුම් යළි ඇති නොවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. යළි ගැටුම් ඇති නොවීම පිණිස ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන යෝජනා මොනවාද? මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවට, සුළුජන කොටස් පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්, ගෙන ආ යෝජනාව තමයි ‘යළි ගැටුම් ඇති නොවීමට ශ්‍රී ලංකාව ෆෙඩරල් කළ යුතුයි’ යන්න. 2015දී ශ්‍රි ලංකාවට එරෙහිව මේ කවුන්සිලය විසින් සම්මතකර ගත් යෝජනාව අනුව, යළි ගැටුම් ඇති නොවීමට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට යෝජනා කළා. මේ අනුව පැහැදිලියි, මේ අය අපට පොවන්න යන්නේ විස බෙහෙතක්.

මේ වන විට ජනාධිපතිවරයා යුද අපරාධ පිළිබඳ සෙවීමේ දෙමුහුන් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අගමැතිවරයාද දැන් ඒ කතාවම කියනවා. නමුත් ගිය සතියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිය කතාවේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පැවසුවේ කුමක්ද? 2015 ජිනීවා යෝජනාව අනුව ඉදිරියේදි කටයුතු කරන බවයි. දැන් පෙනෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දෙමුහුන් වී ඇති බවයි. දැන් ජාත්‍යන්තරයට එකක් කියනවා. ජනතාවට තවත් එකක් කියනවා.

2015 ජිනීවා යෝජනාව 2017දී සම්පූර්ණයෙන් ඉටු කරන බවයි මංගල සමරවීර ඇමතිවරයා මෙවර සමුළුවේදි කීවේ. එය ඉතා නින්දිත ප්‍රකාශයක් ලිංගික හිංසන, සමූල ඝාතන ඇතුළු යුද අපරාධ චෝදනා අපේ රණවිරුවන්ට එල්ල වූවාට මේ විදේශ ඇමතිවරයා ඇඟයීමක් සහිතව එය පිළිගත්තා. නමුත් ඔහු කළ යුතුව තිබුණේ එම චෝදනා ඍජුව ප්‍රතික්ෂේප කිරීමයි. ‘හමුදාවේ යම් පුද්ගලයකු අතින් වරදක් සිදු වෙලා නම් එය පිළිගන්නවා.” නමුත් අපේ සමස්ත හමුදාවට එල්ල වන එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරනවා’ කියන එකයි ඔහු එහිදී රට වෙනුවෙන් කිව යුත්තේ. නමුත් මේ විදේශ ඇමතිවරයා ජිනීවා සමුළුව ඉදිරියේ රටත්, සමස්ත හමුදාවත් පාවා දුන්නා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

24 views

One Comment to “ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගා කම්මුල් පාරක් ගහයි..”

  1. Kori sitha says:

    UNP උන් කියන්නේ මහින්ද ගෙන් පලිගන්න මුලු රටම පාවල දෙන ජාතියක්. බොරු නම් බලපං මංගල සමරවීර දිහා

Main News