ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍ය නෑ.. ආර්ථිකය කියන්නේ විකුණන දේවල එකතුවයි..

September 30, 2021 at 10:00 am | lanka C news
ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍ය නෑ.. ආර්ථිකය කියන්නේ විකුණන දේවල එකතුවයි..

අපි විශ්වාස කරනවා මේ රට දියුණු කරන්නට නම් මේ රටේ ආර්ථික කි‍්‍රයාවලිය සංවර්ධනය කළ යුතු බවට. රටතුළ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට යමක් විකුණන කොට, අලෙවිකරනකොට සිදුවන ගණුදෙනුවල එකතුවක් තමයි ආර්ථික කි‍්‍රයාවලිය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩිවෙනකොට තමයි රටේ ආර්ථිකය සංවර්ධනය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩි වෙන්නේ නැතිනම් රටේ ආර්ථිකය සංවර්ධනය වෙන්නේ නැහැ. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළකර සිටියේ 29 දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවා ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ කි‍්‍රයාවලිය ආරම්භ කරමින් සෞභාග්‍යා සතියට සමගාමීව සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ ජීවනෝපාය උපකරණ බෙදාදීම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සමෘද්ධි සංවර්ධන බැංකුව, සෞභාග්‍යා සංවර්ධන කාර්යංශයේ ග‍්‍රාමීය සංවර්ධන බැංකුව, සමාජ ආරක්ෂණ මණ්ඩලය, ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරයි. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ඒස්.එල්. ගුණතිලක, ගම්පහ දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කේ. අයේෂ් එම්. පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ප‍්‍රධානතම ආර්ථික අර්බුදයක ලෝකය මුහුණ දී සිටින අවස්ථාවක තමයි අප මේ සිටින්නේ. අද ලංකාවේ හුඟක් ජනතාව විශාල ආර්ථික අමාරුකම් මැද විශාල ගැටළු රාශියකට මුහුණ දීලා අසහනයට පත්වෙලා ඉන්න අවස්ථාවක්. සමහර විට ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ මෙය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි මේක ගෝලීය අර්බුධයක්. අද ලෝකයේ දියුණු රටවල් පවා මේ ආර්ථික අර්බුදයෙන් පාඩු ලබනවා. පසුගිය වසරේ ලෝකයේ විශාල රටවල් රාශියක ආර්ථික සංවර්ධන වේගය ඍණ අගයක් ගත්තා. ඒ නිසා මෙය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි.

කෙසේ වෙතත් අපි දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම අමාරු කාලයකට පස්සේ හොඳ කාලයක් එනවා කියලා. ඒක ලෝකේ ඉතිහාසයේ පුරාම සත්‍ය වූ කාරණයක්. උදාහරණයක් ලෙස කියනවා නම් එක්දහස් නමසිය තිස් ගණන්වල ඇමරිකාවෙන් පටන් ගෙන මුළු ලෝකය පුරාම පැතිරී ගිය ආර්ථික අර්බුදය. ඊට පසුව පැමිණියේ යහපත් කාලයක්. එම ආර්ථික ගැටළුවට මිනිසුන් මුහුණ දෙනකොට, එයට විසඳුම් සොයන්න මහන්සි වෙනකොට, ඒ සඳහා නව අදහස් එකට කැටිවෙනකොට එමගින් පටන් ගන්නවා විශාල සංවර්ධන කි‍්‍රයාවලිය. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි මානසිකව වැටෙන්නේ නැතිව, ඍණාත්මක මානසිකත්වයෙන් බලන්නේ නැතිව, මේ රට හදන්න පුළුවන්, අපට දියුණු වෙන්න පුළුවන් කියන ධනාත්මක මානසිකත්වයෙන් වැඩ කරන්න පටන් ගතහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල වෙනසක් ආයෙත් මේ රටේ දකින්නට පුළුවන් වේවි කියලා.

උදාහරණයක් ලෙස මේ රටේ තිබෙන ලොකුම අර්බුදයක් තමයි සංචාරක ව්‍යාපාරයේ තිබෙන කඩා වැටීම. දැන් තිබෙන ඩොලර් අර්බුදයටත් එක ප‍්‍රධාන හේතුවක් කියලා කියන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම. නමුත් හෝටල්, ගුවන් යානා සමාගම්, ට‍්‍රැවල් ඒජන්සි සමග කතා කරල බලන විට දැන් දැන් අපට පේනවා එම තත්ත්වය වෙනස් වීගෙන යන බව. ලංකාවට එන සංචාරකයෝ ප‍්‍රමාණය වැඩිවෙන ලකුණු තිබෙනවා. දෙසැම්බර් පමණ පටන් ගතහොත් ලබන වසර වන විට මෙම තත්වය හුඟක් වෙනස් වෙන්නට පුළුවන්.

එමනිසා රජය මෙම අර්බුදය ගැන හිතලා මන්දෝත්සාහී වෙන්නේ නැතිව රජයේ සැලැස්ම කි‍්‍රයාත්මක කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමා බලයට පත්වෙන්නට පෙර එතුමා ඉදිරිපත් කළා මේ රටට සෞභාග්‍යයේ දැක්ම කියලා වැඩ පිළිවෙලක්. එම වැඩිපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම අපි මොනම හේතුවක් නිසාවත් නතර කරලා නැහැ. එම වැඩපිළිවෙල සකස්කරන කොට අපි මූලික වශයෙන්ම අවධානය දුන් එක කාරණයක් තමයි සමාජ බලගැන්වීම කියන එක. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ක‍්‍රම මොනවද කියලා අපි එම කාලයේදී විශාල ලෙස සාකච්ඡුා කළා. රටක වැඩ කරන ජනතාවගෙන් ආදායම් උපයන්න පුළුවන් ක‍්‍රම රාශියක් තිබෙනවා. ඒ අතරින් එක් ප‍්‍රධාන වශයෙන් එක් ක‍්‍රමයක් තමයි රජයේ හෝ පෞද්ගලික අංශයේ රාජකාරී කරන එක. නමුත් එපමනක් නොවෙයි ආදායම් උපයන්න තිබෙන එකම ක‍්‍රමය. ඊට අමතරව ස්වයං රැකියා කිරීම මගින්, තමුන්ගේ හැකියාවෙන්, නිර්මාණශීලිභාවය භාවිත කර ආදායම උපයා ගැනීම. ඒ වගේම තමන් විසින් මුදල් ආයෝජනය කර ව්‍යාපාරයක් කරන එක. මුදල් මගින් මුදල් ඉපයීම. ණය ලබාදී පොලියක් අය කිරීම වැනි දේ මගින් විශාල ලෙස ව්‍යාපාර සිදුකළ අය ලංකාවේ ඉන්නවා.

තමුන්නාන්සේලා හැම කෙනෙක්ම තේරුම්ගත යුතු දෙයක් තමයි ජීවත් වන්නට රැකියාවක් අවශ්‍ය නැහැ. ජීවත් වන්න රජයෙන් මුදල් ලැබෙන්නම ඕනේ නැහැ. අපට අපේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් මගින් මුදල් හම්බ කරන්න පුළුවන්. එහි තිබෙන වාසිය තමයි තමුන්ට එහි සීමාවක් නැහැ. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවන්ට ආදායමේ සීමාවන් තිබෙනවා. නමුත් ස්වයං රැකියාවක් කරන කෙනෙකුට මුලින් ආදායම බොහෝ අඩු වෙන්න පුළුවන්. හැබැයි ආදායම වැඩිකර ගන්නට ගියහම සීමාවක් නැහැ. තමුන් දක්ෂ නම්, තමුන්ට වෙළෙඳපොල සොයා ගැනීමේ හැකියාව තිබෙනවා නම් අසීමාන්තික විදිහට දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා මම අපේ තරුණ තරුණියන්ට, දරුවන්ට හැම වෙලාවෙම කියන්නේ මේ රැකියා මානසිකත්වයෙන් වැඩ කරන්නට එපා. රැකියාවලට වඩා එහා ලෝකයක් තිබෙනවා. තමුන්ට මුදල් උපයා ගැනීම සඳහා ස්වයං රැකියා, ව්‍යාපාර වැනි දේවලට යොමුවිය හැකියි.

අද දින තමුන්නාන්සේලා සම්බන්ධයෙන් කතා කරන සමාජ බලගැන්වීමේ වැඩපිළිවෙල අන්න ඒ අදහසේ කොටසක්. මොකද අපි විශ්වාස කරනවා මේ රට දියුණු කරන්නට නම් මේ රටේ ආර්ථික කි‍්‍රයාවලිය සංවර්ධනය කළ යුතුයි. ආර්ථික කි‍්‍රයාවලිය කියන්නේ රටතුළ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට යමක් විකුණන කොට, අලෙවිකරනකොට සිදුවන අන්න ඒ වගේ ගණුදෙනුවල එකතුවක් තමයි ආර්ථික කි‍්‍රයාවලිය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩිවෙනකොට තමයි රටේ ආර්ථිකය සංවර්ධනය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩි වෙන්නේ නැතිනම් රටේ ආර්ථිකය සංවර්ධනය වෙන්නේ නැහැ.

ලංකාවේ ආර්ථිකය 2015 තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 80 ක ප‍්‍රමාණය. අද අවුරුදු 6 කට පස්සේ අපි තාමත් ඉන්නේ එතන. අවුරුදු 6 කට පස්සෙත් ආර්ථිකය සංවර්ධනය වෙලා නැහැ. 2005-2014 කාලයේ බැලූවොත් මේ රටේ ආර්ථිකය ප‍්‍රසාරණය උනා හතර ගුණයකින්. ඇමරිකානු ඩොලර් බිලියන 20 ඉඳලා බිලියන 80 වෙනකන්. ඊට පසුව අවාසනාවකට වගේ ඒක නතර වෙලා ආර්ථිකය එකතැන නතර උනා. දැන් අපි කරන්නේ මේ ආර්ථික කි‍්‍රයාවලිය සංවර්ධනය කරන එක. එහෙම නැත්නම් අපි මේ රටේ බහුතර ජනතාව ඒ ආර්ථික කි‍්‍රයාවලියට යොමු කරන්න ඕනේ. තමුන්නාන්සේලාවත් අපි යොමුකරන්න යන්නේ මෙන්න මේ ආර්ථික කි‍්‍රයාවලියට. ඉතින් ඔබලා වෙත අද මේ ලබාදෙන මහන මැෂින් ඇතුළු ස්වයං රැකියා උපකරණ භාවිත කරලා වෙළෙඳපලේ ඉල්ලූමක් පවතින දේවල් පිළිබඳව සොයා බලා නිෂ්පාදනය කිරීමට කටයුතු කළොත් ඔබට ආදායමක් ලබාගත හැකියි. වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මගපෙන්වීම් අපගේ නිලධාරීන් විසිනුත් ඔබවෙත ලබාදෙයි. මෙම මැෂින් මගින් ආදායමක් උපයාගෙන එයින් නොනැවතී තව තවත් ආදායම් උපයාගත හැකි අයුරින් ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහායි ඔබ වෙත මේ උපකරණ මූලික වශයෙන් ලබාදෙන්නේ. අපගේ කැමැත්ත ඔබලා හැම කෙනෙක්ම ව්‍යාපාරිකයෝ ලෙස බලගැන්වීමයි. අද මෙතන සිටින ඔබ තව අවුරුදු දහයකින් පහලවකින් විශාල ව්‍යාපාරිකයෝ බවට පත් වේවි. එය තීරණය කරන්නේ දෛවය නොවෙයි. උත්සාහයයි. ඒ නිසා මම ඔබලාගෙන්, ඔබලාගේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ උත්සාහවන්ත වන ලෙසයි. උත්සාහවන්ත ජාතියක් උනොත් අපට ලොකු ගමනක් යා හැකියි.

ඒ වගේම ඔබට වෙළෙඳපොල සොයා දීම සඳහා මා මුදල් අමාත්‍යතුමන් සමගත් සාකච්ඡා කර නිමැවුම් පියස නමින් වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එහි වෙළෙඳකුටි 100 ක් තිබෙනවා යැයි අපි සිතුවොත් එම වෙළෙඳකුටි සති දෙකකට තාවකාලික පදනම මත ඉතාමත් සුළු මුදලකට කුලියට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. එම සුමාන දෙක ඇතුළත එම ස්ථානය පිළිබඳව විශාල ප‍්‍රචාරයක් අප ලබාදෙනවා. එමගින් ගණුදෙනු කරුවන් හඳුනාගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව වසරකට දහසක් පමණ දෙනෙකුට එම ප‍්‍රදර්ශන කුටි ලබාදීමට හැකිවනවා. නිමි ඇඳුම් පමණක් නෙමෙයි විවිධ නිර්මාණ කරන අයට මේ සඳහා අවස්ථාව ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ විශාල ගොඩනැගිලි සදනවා වෙනුවට ජනතාවට ආදායම් ඉපයීය හැකි ස්ථාන නිර්මාණය කරන ලෙසයි. මොකද අපට මේ රටේ ව්‍යාපාරිකයෝ ප‍්‍රමාණය වැඩිකර ගැනීමට අවශ්‍යය යැයි පැවසීය.

– ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර

29,409 views

23 Comments to “ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍ය නෑ.. ආර්ථිකය කියන්නේ විකුණන දේවල එකතුවයි..”

  1. Sakshi says:

    Seems like Colombo University fake PhD is talking. Check how he became billionaire after joining to Rajapaksha robber clan.

Main News