ජීවිත රක්ෂණය අනිවාර්ය කරයි…

April 4, 2017 at 12:40 pm | lanka C news
ජීවිත රක්ෂණය අනිවාර්ය කරයි…

අනතුරු  වලින්  සිදු වන  ජීවිත හානි  ඉහල යාම නිසා,  සේවකයන් 10ට වැඩි  සියළු පෞද්ගලික අංශයේ  ආයතන සහ වැඩබිම්වල සේවකයන්ගේ ජීවිත රක්ෂණය අනිවාර්ය කරමින් නීති ගෙන ඒමට කටයුතු කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

එසේම වැඩබිමකදී,කර්මාන්තශාලාවකදී අනතුරකින් ජීවිත අහිමිවන සේවකයන්ට ලබා දෙන වන්දි මුදල් සහ සහන කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා කඩිනමින් එම වන්දි මුදල් ද සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. ශ්‍රම වාසනා අරමුදලට වසර 19ක් සපිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.සැමරුම් උත්සවය ජාවත්ත පාරේ ශ්‍රම වාසනා ආයතනයේදී පැවැත්විණි.

උත්සවය ඇමතූ අමාත්‍යවරයා ශ්‍රම වාසනා අරමුදල වසර 19ක් පුරා ලබා ඇති ප්‍රගතිය ගැන එය ආරම්භ කළ අමාත්‍යවරයා ලෙස විශාල සතුටක් දැනෙනවා.වත්මන් සාමන්‍යාධිකාරීතුමා ජයලත් මහතා නිර්මාණශීලී පුද්ගලයෙක්.එතුමා අද මෙම අරමුදලෙන් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් යනවා.අද මේ අරමුදල ගැන ජනතාව දැනුවත්.විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට යම් කිසි කරදරයක් වුනොත් ඔවුන්ගේ යැපෙන්නන්ට දරුවන්ට මේ අරමුදල අද විශාල ශක්තියක් වෙලා.”සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්, “අද වෘත්තීය අනතුරු හැම තැනම වාර්තා වෙනවා.ඉදි කිරීම් ක්ෂේත්‍රයේ අනතුරු හරියට සිදු වෙනවා.සමහර ඒවා වාර්තා වෙනවා. සමහර ඒවා යට යනවා. පසුගිය දිනවල බෝගල පතලේ,කැළණිය පරිප්පු කර්මාන්ත ශාලාවේ,මොරගහකන්ද ව්‍යාපෘතියේ ගල් කොරියක ආදී ස්ථාන ගණනාවක සිදු වුණු අනතුරු වලින් ජීවිත රැසක් අපිට අහිමි වුණා.ඒ නිසා අපේ නිලධාරීන් මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි.අපේ නිලධාරීන් ආයතනවලට ගිහිල්ලා හිනා වෙලා කථා කරල ඇවිල්ලා විතරක් වැඩක් නෑ.අවශ්‍ය උපදෙස් ලබා දිය යුතුයි.ඒවා ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කල යුතුයි.අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගන්නා අයාතනවලට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. සේවකයෙකුට, කම්කරුවෙකුට අනතුරක් උනාම උණුවෙන හදවත් අදාල ස්ථානයට ගොස් හාම්පුතා හමුවීමෙන් පසු නැවත ගල් වෙන නිලධාරීනුත් අප අතර ඉන්නවා.එම නිසා අපේ නිලධාරීනුත් අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි.එහි සේවය කරන පොළිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ රාජකාරියට අදාල ස්ථානයකින් තේ එකක්වත් නොබන ලෙසයි.අපේ නිලධාරීනුත් එසේ විය යුතුයි. ඒ වගේම අනතුරක් සිදු වුණ පසු ගිහින් පරීක්ෂණ කිරීමට වඩා අනතුරක් ඇති වීමට පෙර එය වලක්වා ගැනීමට  අවශ්‍ය පියවර ගත යුතුයි.”අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,”දැනට අනතුරකින් සේවකයෙක් මැරුණොත් උපරිම වන්දිය ලක්ෂ පහ මාරයි.මෙය දෙගුණයක් කිරීමට අපි දැන් අවශ්‍ය සංශෝධන කරමින් සිටිනවා.මෙය සේව්‍ය පක්ෂයට බරක් නොවන ආකාරයට රක්ෂණාවරණයකින් සිදු කිරීමට අපි තීරණය කර තිබෙනවා.ඒ අනුව ඉදිරියේදී සේවකයන් 10 දෙනෙකුට වැඩි පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් සියළු දෙනාගේ රක්ෂණය අනිවාර්ය කිරිමේ නීතිගෙන ඒමටත් අපි තීන්දු කර තිබෙනවා.

මෙම  සැමරුම් උත්සවයේදී ශ්‍රම වාසනා අරමුදලේ නිර්මාතෘ වන වර්තමාන කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ ශ්‍රම වාසනා අරමුදලේ ආරම්භක සභාපතිවරයා වූ එස්.බී. බන්ධුසේන යන මහත්වරුන්ට උපහාර තිළිණ ලබා දීමද සිදු කරන ලදී. එසේම පසුගිය වසරේ හදිසි ව්‍යවසනයන්ට ගොදුරු වූ කම්හල් තුල තම ජීවිතය අහිමි වූ සහ  පුර්ණ ආබාධිත තත්වයට පත්වූ සේවක සේවිකාවන්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන් 25 දෙනෙකු වෙත රුපියල් 50,000 බැගින් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන උපකරණ කට්ටලය බැගින් ලබා දීමත්, අසාධාරණ ලෙස කර්මාන්තශාලා වලින් ඉවත් කර සේවය අහිමි කරන ලද සේවක සේවිකාවන්ට 7 දෙනෙකුට නීති ආධාර චෙක්තපත් ලබා දීමත්,පෞද්ගලික අංශයේ මියගිය සේවකයන්ට  පුන්‍යානුමෝදනා කරමින් එම සේවකයන්ගේ දරුවන්ගේ සහභාගීත්වයෙන්  ධානමය පිංකමක් පැවැත්වීමත් සිදු කරන ලදී.

– ධම්මික තිලකරත්න

45 views
Main News