ජේලර් ඝාතනයෙන් තවත් අපරාධ රැසක සුලමුල හෙලි වේ..

August 4, 2019 at 12:40 pm | lanka C news
ජේලර් ඝාතනයෙන් තවත් අපරාධ රැසක සුලමුල හෙලි වේ..

කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර්වරයා ඊයේ (03) සවස අම්බලන්ගොඩ, කුලීගොඩදී වෙඩිතබා ඝාතනය කර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙක්ඥ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමැති අයයි.

ඊයේ  (03) සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ, කුලීගොඩ හන්දියේදී මදක් මාදම්පාගම දෙසට වෙන්නට මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම් ටී රුවන් තිහාර ජයරත්න (44) නැමැති අය ප්‍රදේශවාසීන් විසින් බළපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකකේ සදහන් කළේය.

මියගිය අය වෙනුවෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා විසින් ඊයේ (03) රාත්‍රියේ පවත්වන ලද අතර මෘත දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසද ඔහු විසින් නියෝග කර තිබේ. ඒ අනුව අද (04) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

සිද්ධිය සැල වීමත් සමග අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජේලර්වරයා කොළඔ, බන්ධනාගාර පුහුණු පාසැලේ සිට කෙටි නිවාඩුවක් දමා නිවස වෙත ඒමට පිටත්ව තිබෙන බවත් දුම්රියෙන් බැස දුම්රිය නැවතුම් පොළ අසල ආරක්ෂිත ස්ථානයක තබා තිබූ ප්ලැටිනා වර්ගයේ සිය යතුරු පැදිය රැගෙන නිවසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. ඝාතනයට ලක් වූ අය තිදරු පියෙකු බවත් ඔහු ඊයේ (03) කෙටි නිවාඩු දමා පැමිණ ඇත්තේ අද (04) දිනයේදී 5 වසර ශිෂත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණියගේ අත්‍යාවශ්‍ය කරුණු කීපයක් ඉටු කිරීමට බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ජේලර්වරයා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. ඝාතකයන් පැමිණි යතුරු පැදිය, ජේලර්වරයාගේ යතුරු පැදියට ඉස්සර කරමින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් වෙඩි පහරවල් 03 ක් එල්ල කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ජේලර්වරයාගේ බෙල්ලට යටින් දකුණු පැත්තට වන්නට එක් වෙඩි පහරක්, වම් තණපුඩුව අසලින් ඊට පහලට වන්නට තවත් වෙඩි පහරක් හා වම් කකුලේ කලවයට අනික් වෙඩි පහර තබා තිබෙන බවද පොලීසිය කියයි. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී-56 වර්ගයේ උණ්ඩ කොපු 03 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර ඒ නිසාම මෙම වෙඩි තැබීම ටී-56 ගිනි අවියකින් සිදුකරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු ඝාතකයින් මීටියාගොඩ දෙසට පලාගිය බවත් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් අය විසින් වෙඩිතැබීම සිදුකල බවත් සිද්ධිය ඇසින් දුටුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ. ඝාතකයින් HZ යමහා වර්ගයේ යතුරු පැදියකින් පැමිණ තිබෙන බවට තොරතුරු ඇතැයිද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක‍යෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ කුඩු තිප්පොලක් වැටලු අවස්ථාවේ දි ඒ ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල සිටියේ යැයි 2018.10.19 දින මීටියාගොඩ පොලීසියේ අත් අඩංගුවටද පත්විය. ඒ වන විට ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ජේලර්වරයා වශයෙන් සේවය කරමින් සිටි අතර අදාල දිනයේ ඔහු එහි පැමිණියේ කුමක් සදහාද යන්න මිටියාගොඩ පොලිසියේ සැකයට භාජනය වී තිබුණි.

තමා, මිටියාගොඩ බද්දේගම ප්‍රධාන මාර්ගය ට මුහුණලා ඇති සත්ව ගොවිපලක් ආසන්නයට යතුරු පැදියෙන් ගොස් කුකුලු මස් තොග වශයෙන් මිලදී ගැනීමට විමසීමක් සිදුකරන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඊට යාබද ස්ථානයක සිටි බව කියන කුඩු ජාවාරම් කරුවකු අත් අඩංගුවට ගත් බවත් තමන් මෙම ස්ථානයට පැමිණියේ කුමක් සඳහා ද යන්න විමසා තමන්ද අත් අඩංගුවට ගත් බවත් ඊට අදාල පරීක්ෂණ වලදි ජේලර්වරයා ප්‍රකාශ කර තිබුණි. පසුව ඔහුට විරුද්ධව නඩුපවරා තිබූ අතර නඩුවෙන් ජේලර්වරයා නිදොස් කොට නිදහස් කෙරිණි.  2018.10.19 දින අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඔහු වැඩ තහනමට ලක්ව තිබූ අතර නිදහස් වීමෙන් පසු නැවත රැකියාව ලැබී තිබුණේ වැලිකඩ බන්ධනාගාර පාසැලේ ජේලර්වරයා ලෙස මීට මාස 04 කට පෙරදීය.

පසුව ඝාතනයට ලක් වූ ජේලර්වරයා විසින් තමන්ට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක්ද පවරා ඇති අතර මේ වන විටත් එම නඩුව විභාග වෙමින් තිබේ. ඝාතනයට ලක් වූ සිය ස්වාමිපුරුෂයාට මීටියාගොඩ හා අම්බලන්ගොඩ පොලිස් ස්ථාන සමග ගැටළු තිබූ බවත් ඒ නිසාම එම පොලිස් ස්ථාන වලින් සාධාරණත්වයක් ඉටු නොවන බවත් මියගිය අයගේ බිරිද මෙන්ම සහෝදරයාද ප්‍රකාශ කරයි. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකු යටතේ වෙනත් පොලිස් ස්ථානයක් හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් හරහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ලෙසයි.

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් හරහා සිදුවන දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතා හා අපරාධ වලට අනුබල දීම් රැසක් ඝාතනයට ලක් වූ සිය සහෝදරයා විසින් ඔහුට එරෙහි නඩුවේදී හෙළිකර තිබෙන බවත් ඒවා හෙළි කිරීම හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබදවද පරීක්ෂණ පවත්වන ලෙසත් ඝාතනයට ලක් වූ අයගේ සහෝදරයා විසින් ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඝාතනයට ලක් වූ ජේලර්වරයා තමන්ට ජීවිත තර්ජන තිබෙන බවට සදහන් කරමින් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙන බවද ඔහුගේ සහෝදරයා ප්‍රකාශ කරයි.

ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී නැමැති අය සහ ඔහුගේ කල්ලිය සමග ලගින් ඇසුරු කර තිබෙන බවද පොලීසිය කියයි. 2015 මාර්තු 23 දින වෙඩිතබා ඝාතනය කරන ලද හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) සහ 2016 දෙසැම්බර් 05 දින ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පොඩි ලැසී මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

කරන්දෙණියේ හිතහොද දොස්තර නමින් ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාට 2011 සැප්තැම්බර් 25 දින වෙඩිතබා ඝාතනය කිරීම සහ 2016 ජනවාරි 09 දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා දිවෙන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක් වන ඉඩන්තොට යුනර්ලයිට් හෝටලය පිටුපස මාර්ගයේදී කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් (24) නොහොත් ‘’ගලගොඩ සුසා” නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාදම්පාගම, ඉඩන්තොට පදිංචි සොබනාහන්දි ජයලත් ද සිල්වා (29), ඔහුගේ සහෝදරයා වන මීටියාගොඩ, මහවත්තේ පදිංචි සොබනාහන්දි සනත් ද සිල්වා (33) නොහොත් ‘’රාජු’’ අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි මුරුක්කුවාදුර වසන්ත සොයිසා (24) නොහොත් ‘’වසා” සහ එම ලිපිනයේම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (20) නොහොත් ‘’සමන් කොල්ලා” නැමැති තිදෙනාය. මොවුන් සමගද ඝාතනයට ලක් වූ ජේලර්වරයා සමීප සබදතා පවත්වා තිබෙන බවට තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. හිතහොද දොස්තර ඝාතනයේ සැකකරුවන් හා පොඩිලැසී එකම කණ්ඩායකම සාමාජිකයින් බවද එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේය.

හිතහොද දොස්තර ඝාතනයේ පළමු හා දෙවැනි සැකකරුවන් වන ඉහත කී අයිය මලෝ දෙදෙනා සමග චින්තක රුවන් ජයසේන හා යුද්ධ හමුදා කපිතාන් වරයෙකු වූ චන්දන වික්‍රමසිංහ නොහොත් සුදු මල්ලී නැමැති අයද අත් අඩංගුවට ගෙන තිබුණි. මොවුන්ගෙන් සැකකකාර අයිය මලෝ දෙදෙනා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔවුන් දෙදෙනා පොඩි ලැසීගේ පාතාල කල්ලිය නියෝජනය කරයි.

මනෝජ් මෙන්ඩිස්ගේ කණ්ඩායම සහ පොඩිලැසීගේ කණ්ඩායම අතර දිගු කලක සිට සිට පවතින මරා ගැනිල්ලේ ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (03) ඝාතනය සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායම් කීපයක්ම යොදවා පරීක්ෂණ පවත්වන බව ඇල්පිටිය කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම ඝාතනයට එකම කණ්ඩායමේ මත භේදයක් හේතු වන්නට ඇතැයි යන මතය බැහැර නොකරන බවත් ඝාතනයට පාතාලයේ සම්බන්ධයක් ඇත යන්න පොලීසියේ දැඩි විශ්වාසය වී තිබෙන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

55,708 Viewers

2 Comments to “ජේලර් ඝාතනයෙන් තවත් අපරාධ රැසක සුලමුල හෙලි වේ..”

  1. කුලවාදියා says:

    හාලි හැත්ත රටටම වසංගතයක්.

  2. Sun says:

    All these criminals are linked and drugs are behind all these activities. Their hearts are full of hatred and delusion without knowing the meaning of life. They think by shooting they can control the system but they continue the path towards further unhappiness and live with that mental agony. Even the life after deaths they definitely go to a place where these activities are happening. That is the life cycle of such people.

Main News