ජේලර් ඝාතනය පසුපස අපරාධ වැලක් හෙලිවේ..

August 5, 2019 at 8:02 am | lanka C news
ජේලර් ඝාතනය පසුපස අපරාධ වැලක් හෙලිවේ..

කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමට අදාල පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පොලීසිය තීරණය කර තිබෙන බව ඇල්පිටිය කොට්ඨාශයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් (04) සවස ප්‍රකාශ කළේය.

එයට අමතරව ඇල්පිටිය පොලිස් අධිකාරී නිශ්ශංක පීරිස් මහතා යටතේ හා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රී මහතා යටතේත් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා යටතේත් පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද එම උසස් පොලිස් නිලධාරීයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(03) සවස අම්බලන්ගොඩ, කුලීගොඩදී මෙරෙක්ඥ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමැති ජේලර්වරයා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

මෙම ඝාතනය සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ සහය ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව එම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් හරහා සිදුවන දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතා හා අපරාධ වලට අනුබල දීම් රැසක් ඝාතනයට ලක් වූ සිය සහෝදරයා විසින් ඔහුට එරෙහි නඩුවේදී හෙළිකර තිබෙන බවත් ඒවා හෙළි කිරීම හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබදවද පරීක්ෂණ පවත්වන ලෙසත් ඝාතනයට ලක් වූ අයගේ බිරිද හා සහෝදරයා විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ. ඝාතනයට ලක් වූ බන්ධනාගාර ජේලර්වරයා ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන කාලයේ එහි උසස් නිලධාරියෙකු සමග ප්‍රබල මතභේදයකින් පසු වූ බවත් ගාල්ල බන්ධනාගාරයේ දූෂණ, වංචා හෙළි කිරීම මීට හේතු වූ බවත් ජේලර්වරයාගේ සහෝදරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හමුවේ කරුණු හෙළිකර තිබෙන බවද දැන ගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය (04) සන්ධ්‍යාව වන විටත් අවසන්ව නොතිබුණි. බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා විසින් (03) රාත්‍රියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මෘත දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට නියෝග කර තිබුණි. ඒ බළපිටිය හා ඇල්පිටිය මූලික රෝහල් වල මෘත ශරීර ස්කෑන් කිරීමේ පහසුකම් නොමැති වීම හේතුවෙනි.

ඇල්පිටිය මූලික රෝහගේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ආර් මුණසිංහ මහතා විසින් මෘත දේහය ගාල්ල, කරාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ස්කෑන් කර නැවත ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන විත් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් සිටී.

– ජයකාන්ත ලියනගේ

28,122 Viewers
Main News