ඥාණසාර හිමි හැංගුනේ බුද්ධි අංශ මෙහෙයුමකට..

July 2, 2017 at 9:20 am | lanka C news
ඥාණසාර හිමි හැංගුනේ බුද්ධි අංශ මෙහෙයුමකට..

ගලගොඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත්වීම පමා කිරීම පිටුපස බුද්ධි අංශ මෙහෙයුමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි අධිකරණයට ඉදිරිපත්වීම පමාකිරීමේ බුද්ධි මෙහෙයුම දියත්කර ඇත්තේ ඥාණසාර හිමියන් පොලිස් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා නම් රටේ ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහරදීම් මාලාවක් දියත් කිරීමට තිබූ සුදානමක් පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුවය.
වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට ඥාණසාර හිමි සම්බන්ධව අධිකරණ වරෙන්තුව නිකුත්වීමට පෙර සිට එම හිමියන් යන එන ස්ථාන පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිට ඇති අතර අධිකරණ වරෙන්තුව නිකුත් කිරීමෙන් අනතුරුව ද එම හිමියන් සිටි ස්ථාන පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිට ඇත.

තව ද අධිකරණ වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුව උන්වහන්සේ ආ ගිය ස්ථාන බුද්ධි අංශ නිලධාරීන් විසින් දිවා රෑ රැකවල්ලා සිට ඇති අතර ඒ සමයේ උන්වහන්සේගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇත.

වාර්තා වන ආකාරයට එම සමයේ ඥානසාර හිමි මුණගැසීමට පැමිණි පාර්ශ්ව සම්බන්ධව ද තොරතුරු එකතු කිරීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් කිහිපදෙනෙකු, පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හමුවීමට පැමිණ සාකච්ජා පවත්වා ඇත. මෙසේ සාකච්ඡා සඳහා පැමිණි පාර්ශ්ව ආ ගිය දින සහ වේලාවන් පවා බුද්ධි නිලධාරීන් සතුව ඇති බව ද දැන ගන්නට ඇත.

අධිකරණ වරෙන්තුවක් නිකුත් වූ අයකු සම්බන්ධව බුද්ධි අංශ දැනුවත්ව සිට ඒ පිළිබඳ අදාළ විමර්ශන නිලධාරීන් දැනුවත් නොකිරීම සම්බන්ධව අප කළ විමසුමේ දී අදාළ මෙහෙයුමට සම්බන්ධව සිටි බුද්ධි නිලධාරීන් සඳහන් කර සිටියේ අදාළ අධිකරණ වරෙන්තුව නිකුත් කළ දිනට පෙර කුරුණෑගල ඇති වූ සිදු වීමේ පටන් සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ සූදානම පාලනය කිරීම ඒ මොහොතේ තම රාජකාරිය වූ බවය. රට තුළ එවැනි තත්ත්වයක් මතු වූවා නම් ජාතිවාදී කෝලාහලය ස්ථාන කිහිපයකට සීමා නොවී රට පුරා ඇවිළීයාමේ අවදානමක් තිබූ බවත් එවැනි තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කිරීම අත්අඩංගුවට ගැනීමකට වඩා වැදගත් බව ද ඔවුහු සඳහන් කළහ.

තව ද වරෙන්තුව නිකුත් කර තිබූ සමයේ ඥානසාර හිමියන් නිතර වැඩවාසය කළ පන්සලට ද කිහිපවතාවක් ආ ගිය බවත් වරෙන්තුව නිකුත් කිරීමත් සමඟ උන්වහන්සේ අධිකරණය මඟ හැරිය ද විශේෂ ස්ථානයක සැඟවීමට උත්සාහ නොකළ බව ද බුද්ධි අංශ සඳහන් කර සිටියි.

එසේම ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ දී හෝ ඊට පසුව කිසියම් ආකාරයකින් හානියක් සිදු වූවා නම් ජාතිවාදය පදනම් කරගෙන රජය අස්ථාවරත්වයට පත්කිරීමේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල සැලැස්මක් සම්බන්ධව ද බුද්ධි වාර්තා ලැබී තිබූ බව ද වාර්තා වෙයි.

එම තොරතුරු පදනම් කරගෙන රට තුළ ජාතිවාදී මත පතුරවමින් සිවිල් සාමය කඩකිරීමට කටයුතු කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එම විමර්ශන අවසන් වී නොමැති බැවින් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට නොහැකි බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඥානසාර හිමියන් අධිකරණයට ගෙන විත් ඇප ලබා දීමට දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස උලපනේ ශ්‍රි සුමංගල හිමි මැදිහත්වීමට කටයුතු කර ඇත්තේ ද රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇතිවීම වැළක්වීමේ අපේක්ෂාවෙන් බවත් එම කටයුත්ත වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ දැනුවත්භාවය මත සිදුව ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීමේ දී මෙරට සිවිල් සමාජය සහ ඇතැම් දේශපාලකයන් ආරක්ෂක අංශවලට රාජකාරී කිරීම සම්බන්ධව උපදෙස් දීමට ඉදිරිපත් වීම වැනි කටයුතු සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් රට ජාතිවාදී පදනමින් දැඩි බෙදීයාමකට ලක්ව ඇති පසුබිමක එම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් නොවී විවිධ පාර්ශ්ව ආරක්ෂක අංශ කටයුතුවලට මැදිහත්වීම තුළ ආරක්ෂක අංශ රාජකාරි නිසි ලෙස සිදු කිරීම දුෂ්කර වන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජාතිවාදී පදනමින් රට තුළ සිවිල් සාමය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව බුද්ධි අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන ඕනෑම අවස්ථාවක ඔවුන්ව ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට ඒ හරහා සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

– sathhanda.lk

42 views

2 Comments to “ඥාණසාර හිමි හැංගුනේ බුද්ධි අංශ මෙහෙයුමකට..”

  1. ඇත්ත says:

    මේකෙන් තේරෙන්නෙ එක දෙයයි. කලු සුද්දන්ට පුළුවන් නීතිය ඕන විදිහට නවන්න. ලංකාව පුරා මත්ද්‍රව්‍ය ප්‍රදාරණ කටයුතු කරන්නේත් ඔය බුද්ධි අංශම තමයි. අපරාධ ප්‍රචලිත කරැන්නෙකත් බුද්ධි අංශම තමයි. තමුන්ගෙ වාසියට ඕනැ දෙයක් කරන්න කලු සුද්දො ටික සූදානම්. ඔය මහ ලොකු බුද්ධී අංශයට කියන්නකො කොළඹ පාරවල් අයිනෙ කුණු දාන එක නවත්වන්න කියලා. මේ නිකන් ටොයියො හදන බයි කථා. මේවා හොදයි කොණ්ඩෙ බැදපු චීනුන්නට කියන්න.
    ඥානසාර හිමිගෙ ගේම් එක කලුසුද්දොත් එක්ක කථා වෙලා කරපු එකක්. SAITM වගේ….

    • ලිහිණි says:

      බුද්ධාගමට ගෞරවණිය සංඝයා වහන්සේලාට අපහාස කරන්නේ එය තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනිම වෙනුවෙන් NGO ලාට දේශපාලුවන්ට කඬේ යන අන්‍ය ආගමිකයින් සහ නමින් පමණක් බෞද්ධයෝ කියන වසලයින් ය
      බුදු දහම පිළිබඳ ඔවුන් දරන පටු ආකල්ප නිසා ඇති වූ ඒවා බව පැහැදිලිව පෙනේ
      බුද්ධාගමට ගෞරවනීය සංඝයාවහන්සේලාට වැඩියෙන්ම අපහාස කරන්නේ විශේෂයෙන්ම ඉස්ලාම් මූලධර්මවාදීන් ය

Main News