ටයිකොන්ඩෝ කොරියානු තානාපති කුසලාන….

January 6, 2019 at 2:01 am | lanka C news
ටයිකොන්ඩෝ කොරියානු තානාපති කුසලාන….

කොරියානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ ටයිකොන්ඩෝ කුකිවොන් ශුරතා තරඟාවලිය කොළඹ 07 රාජකීය විද්‍යාලයේ මාස් ඇරීණා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික පිරිසක් මෙම තරඟාවලියට සහභාගී විය.

මෙවැනි තරඟාවලියක් ශ්‍රී ලංකාව තුළ මුල් වරට පැවැත්වූයේ 2015 වසරේදීය. ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ඇල්මක් හා ආදරය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර එකමුතු බව ඇති කිරීම සහ ටයිකොන්ඩෝ ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් මෙම තරඟාවලිය පැවැත් වූ බව කොරියානු රජයේ තානාපති හියොන් ලී මහතා පැවසීය.

පසුගිය දශක දෙකක කාලය තුළ කොරියානු රජය ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා එක්ව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල, පාසල්, තරුණ සේවා සභාව හා රාජ්‍ය ආයතන වල ටයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සඳහා විශාල සේවාවක් සිදු කර ඇත.

මෙදින තරඟ ඉසව් විශාල ප්‍රමාණයක් පැවැති අතර එම තරඟ වල දී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, තරුණ සේවා සභාව හා රත්නපුර, පුත්තලම, කොළඹ, බදුල්ල, මහනුවර හා ගාල්ල යන දිස්ත්‍රික් කණ්ඩායම් විශේෂ දක්ෂතා දැක්වීමට සමත්විය.

මෙම ශුරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රධානය කොරියානු රජයේ තානාපති හියොන් ලී මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති,රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ ගරු සභාපති කංචන ජයරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

– tkd

1,058 Viewers
Main News