ටෙලිකොම් අර්බුදත් ජෝන්ට පටවයි..

January 13, 2017 at 8:02 am | lanka C news
ටෙලිකොම් අර්බුදත් ජෝන්ට පටවයි..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරනු ලබන මෑන්පවර් සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා   රට පුරා පාරිභෝගික සේවා බිඳ වැටීම් ඇතුළු  ආයතනික සේවාවන් වලට  යම් බාධාකාරී තත්වයක්  මේ වන විට ඇති වී තිබේ.

ටෙලිකොම් සමාගමට අනුබද්ධ ආයතනයක සේවය කරන මෙම සේවකයන්  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුළ කාර්මික සාමය බිඳවැටී කාර්මික ආරවුල් තත්වයක් ඇති වී ඇති නිසා මේ අර්බුදය විසඳීමට කම්කරු අමාත්‍යංශය  මේ වන විට මැදිහත්ව තිබේ.ඒ අනුව  පසුගියදා ( ජන.10) ශ්‍රී ලංකා ටෙලිකොම් පාලන අධිකාරියත්,  වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් නියෝජනය කරන  තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයත් (AEUIT)කම්කරු අමාත්‍යංශයට කැඳවා සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා කටයුතු කරන ලදී.

මෙහිදී දෙපාර්ශවයේම අදහස් වලට සවන් දුන් අමාත්‍යවරයා,ටෙලිකොම් ආයතනයත් ආරක්ෂා කර ගනිමින් මෑන් පවර් සේවකයන්ටත් අසාධාරණයක් නොවන ආකාරයට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට දෙපාර්ශවයේම සහයෝගය කම්කරු අමාත්‍යංශයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.මෙහිදී ටෙලිකොම් ආයතනයට වසර ගණනාවක් සේවය කර ඇති සුදුසුකම් සහිත සේවකයන් ඉදිරි වසර 4ක් වැනි කාලයක් තුළ අදියර කිහිපයකදී බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ටෙලිකොම් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.ටෙලිකොම් ආයතනය වැනි සන්නිවේදන තාක්ෂණික ආයතනයකට බඳවා ගැනීමේදී පවතින සුදුසුකම් සහ බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව එය සිදු කිරීමට විරුද්ධ නොවන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටි අමාත්‍යවරයා සුදුසුකම් නොමැති අය  අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට කටයුතු කළ යුතු බවත්  පැවසීය.

එසේම ආයතනයට අගෞරවයක් නොවන ආකාරයට කටයුතු කරන ලෙස විරෝධතාකරුවන්ට දන්වන ලෙස වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, පාලන අධිකාරිය මගින්  සුදුසුකම් සහිත සේවකයන් ක්‍රමානූකූලව ටෙලිකොම් සමාගමට බඳවා ගැනීමේ යම් සාධනීය ස්ථාවරයක සිටින නිසා, වැඩවර්ජනය අතහැර පාලන අධිකාරිය සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් පවතින ගැටළු විසඳා ගැනීමට කටයුතු කරන  ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න,කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග,ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්ම මහත්මීන්,වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු අමත්‍යංශ දෙපර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියේය.

ධම්මික තිලකරත්න                                

19 views
Main News