ඩෙංගු අධි වසංගත තත්වයක්…

June 17, 2022 at 8:02 am | lanka C news
ඩෙංගු අධි වසංගත තත්වයක්…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් වළක්වා ගත නොහැකිද?

වර්තමානය වන විට සියළුදෙනා විසින් වැඩිම අවධානය යොමු කළ යුතු බෝ වන රෝගය බවට ඩෙංගු රෝගය පත් වී හමාරය.

දිවයින පුරා දිස්ත්‍රික් ගණනාවක ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සමස්ථයක් ලෙස වසරේ ගෙවුණු කාලයේදී දිවයින පුරා රෝගීන් 25000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. ඉන් අති බහුතරයක් බස්නාහිර පලාතෙන් වාර්තා වන අතර සමස්ථ රෝගින්ගෙන් 40% කට ආසන්න ප්‍රතිශතයක් එම පලාතෙන් වාර්තා වීම කැපි පෙනෙයි. ඒ අතරින්, කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවධානම් මට්ටමක පවතින බව නොරහසකි.

බස්නාහිර පළාතට අමතරව යාපනය, ගාල්ල, කුරුණැගල, මහනුවර, රත්නපුර යන දිස්ත්‍රික්ක වලද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතියි.

පවතින රටාවන් තුල දිගින් දිගටම ගමන් කළහොත් මෙම වර්ෂය තුල ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වනු ඇත. අවසන් වරට මේ අයුරින් විශේෂ අවදානමක් මතු වුයේ 2017 වර්ෂයේදි වන අතර වසර 5 කට වරක් ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් සඳහා පවතින රටාව මේ වර්ෂය තුලද ඉස්මතු වෙමින් පැවතීම අවධානයට ලක්විය යුතු කරුණකි.

රට තුල පවතින සමාජ, ආර්ථික අර්බුදකාරි වතාවරණය හරහා නිර්මාණය වී ඇති දැඩි ඖෂධ හිඟය හා මහජනතාවගේ අවධානය ගිලිහි යාම යන කරුණු හේතුවෙන් මෙම වර්ෂය තුල ඩෙංගු රෝගය නිසා සිදු වන බොහෝ විට වළක්වා ගත හැකි මරණ ප්‍රමාණයද ඉහළ අගයක් ගනු ඇතැයි අපි දැඩි සේ අනතුරු හඟවමු.

දිවයින පුරා සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ හරහා හෙලිදරව් වී ඇති තොරතුරු අනුව පසුගිය මාසයක කාලයක තුල මදුරු ඝණත්වයන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබීම මෙන්ම ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර පිළිබඳ ගණනය කරන බ්‍රිඨෝ දර්ශකය (Breataux Index) විශාල ප්‍රතිශතයක් ගැනීම ඉදිරි කාලය පිළිබඳ වඩාත් අදුරු හා භයංකර තත්ත්වයක් පිළිබඳ ඉඟි කරයි.

බ්‍රිඨෝ දර්ශකය පිළිබඳ නිර්දේශිත අගය 5% කට අඩු විය යුතු නමුත් අධි අවධානම් කලාප වල දැනට සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ අනුව එය 20% මට්ටම කරා ලඟා වෙමින් තිබීම විශේෂ අවධානය යොමුවිය යුතු කරුණකි.

ආගමික ස්ථාන, පාසල්, රජයේ ආයතන වැනි පොදු ස්ථාන මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීම් පරිශ්‍ර මෙහිදි කැපිපෙනේ. ඒ අනුව තම නිවස හා නිවස අවට මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමට අමතරව තම ගම/නගරය තුල ඇති මෙවන් පොදු ස්ථාන වල මදුරුවන් බෝ වන තැන් පිළිබඳව විමසිලිමත් වීම අදාල බලධාරීන්ගේ මෙන්ම පොදු ජනතාවගේද වගකීමකි. ඉදිරි අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

දැනටත් ලොව පුරා ඇති අත්දැකිම් අනුව ඩෙංගු රෝගය පාලනය සඳහා ඇති හොඳම හා සාර්ථකම ක්‍රමවේදය පරිසරය තුල මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම බව තහවුරු වී ඇති පසුබිමක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින්ද ප්‍රකාශයට පත් කර ඇති සිකුරාදා දින රජයේ නිවාඩු දිනයේ වාසියද ලබා ගනිමින් තම නිවාස හා නිවාස අවට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දීමට කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව අවධාරණය කරමු.

මෙයට අමතරව ඩෙංගු අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පහත යෝජනා ඉදිරිපත් කරමු.

  1. ප්‍රාදේශීය වශයෙන් ඇති අධි අවදානම් ග්‍රාම නිලධාරි වසම් සහ තිව්‍ර අවදානම් සහිත ස්ථාන (Red Spot) හඳුනා ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කොට ග්‍රාමීය ප්‍රජා කමිටු හරහා පරිසර පිරිසිදු කිරීම් ඇතුළු මදුරු මර්දන කටයුතු සම්බන්ධිකරණය කිරීම.
  2. ඩෙංගු මර්දනය ඉලක්ක කරගත් අන්තර් පාර්ශවීය සම්බන්ධිකරණය හා සහයෝගිතාව සෞඛ්‍ය බලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් මත ශක්තිමත් කිරීම.
  3. පාසල් පද්ධතිය භාවිතා කරමින් සිදු කරන දැනුවත් කිරීම් හරහා පාසල් සිසුන් මඟින් තම නිවෙස් හා ප්‍රජාව වෙත ඩෙංගු මර්දනයට අදාල ප්‍රායෝගික පණිවිඩ කාන්දු කිරීම.
  4. මදුරු මර්දනය සඳහා ධුමායනය ඇතුළු අනිකුත් ක්‍රමවේද නිවැරදි තාක්ෂණික මඟපෙන්වීමක් තුල ක්‍රියාත්මක කිරීම.
  5. අවශ්‍ය ස්ථාන වලදි නීතිමය කෘත්‍යයන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

ඉදිරි අධි වසංගත තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා බලධාරීන් සතු වගකීම මෙන්ම පුරවැසියන් සතු යුතුකම අමතක නොකල යුතු බව අවධාරණය කරමු.

ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප හට ලබා දිය හැකි උපරිම සහයෝගය සියලු පාර්ශව වෙත නොපැකිලිව ලබා දීමට සපථ කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

23,769 views

4 Comments to “ඩෙංගු අධි වසංගත තත්වයක්…”

  1. කුඹුක්කණ් says:

    දේශීය වෙදකමින් දවසෙන් සුවයි.
    ඒකටත් වැක්සීන් එකක් එනකං, බටහිර ඇලොපතියො, නටනවා. කුහක උද්දච්ච කමින් , ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ටික , ඒ වෙදකමට පහර ගහමින් , සේල්ස් රෙප් වීම අභිමානයක් සේ දකිමින් මී හරකුන් සේ සිටී.

  2. hela-01 says:

    ඩෙංගු හැදිලා අමාරුවෙන්න කලින් අලුත්වල ඩෙංගු බෙහෙතේ ගන්න.(අත්දැකීමෙන් කියන්නේ) නිකන් මැරෙන්න එපා(බටහිර වෙදකමේ තම බෙහෙත් නැහැ )

    • බබක්ක says:

      නිකං බොරු කියන්නැතුව ලංකාවෙ රෝහල් ගත වෙන ඩෙංගු රෝගීන්ගෙ මරණ ප්‍රතිශතය හොයල බලන්න. මුල් කාලෙ මැරුනට දැන් බොහෝ දුරට ප්‍රතිකාර ක්‍රම වලිං ‌රෝගය පාලනය කරනව. මරණ අවම මට්ටමක පවත්වගෙන යනව.‍
      මේ වගේ මිථ්‍යා මත සමාජගත කරල තමා ඒ්ව විශ්වාස කරන බූරුවෙක් ජනාධිපති වෙලා රටේ ගොවිතැනත් විනාශ කරල දැම්මෙ.

  3. NNW Hewavitharana says:

    ඉක්මනින් රෝහල්ගත වෙන්න.මුල් දවස් දෙකේ පුලුවන් තරම් වතුර බොන්න.නියමිත උපදෙස් පිලිපදින්න.හොර වෙදගෙදරින් බෙහෙත් ගන්න එපා.කොහොමත් දවස් 6 කින් හොඳ වෙනවා.මිත්‍යාව මත ජීවත් වෙන්න එපා.ඔය වෙද හාමිනේ කොරෝනා වලිනුත් හම්බකරන් කෑවා

Main News