ඩෙංගු වැළදුණු සා/පෙ විභාග අපේක්ෂකයින් 12 ක් උණ රෝහලට…

December 16, 2016 at 2:06 am | lanka C news
ඩෙංගු වැළදුණු සා/පෙ විභාග අපේක්ෂකයින් 12 ක් උණ රෝහලට…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය සදුදා ආරම්භ කළ විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සදහා ත්‍රීවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍ය සේවකයින් ඒකාබද්ධව දුමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරිම සිදුකරනු ලබන බව ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය පවසයි. මෙම වැඩසටහන් හමුවෙි ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමෙි සුළු අඩුවක් දක්නට ලැබෙි. අද (15) වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,900 ක් වන අතර, මියගොස් ඇති සංඛ්‍යාව 77 ක් වෙි.

මෙි අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු රෝගය වැළදුණූ සිසු සිසුවියන් 12 දෙනෙකු අයි.ඩි.එචි උණ රෝහලට ඇතුළත් කර ඇත. එම විභාග අපේක්ෂකයින් වෙනුවෙන් එම රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙි. විභාග අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරික්ෂණයක නිරත වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටි.

පසුගිය තෙදින තුල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට අනුව පරිශ්‍ර 77,728 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1,140 ක් සොයා ගන්නා ලදි. එහිදී පරිශ්‍ර 9,188 ක් නිවැරදි කිරිමට පියවර ගන්නා ලද අතර, 2,882 කට නොතිසි සහ 616 දෙනෙකුට මෙහිදී නඩු පැවැරීමට ද කටයුතු කරන ලදි.

මෙම මදුරු මර්දන වැඩසටහනේ දී බස්නාහිර පළාතේ පමණක් පරිශ්‍ර්‍ර 60,497 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 639 ක් සොයාගන්නා ලදි. 1889 කට නොතීසි සහ 402 කට නඩු පැවරීමට කටයුතු කර ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වසින් නිකුත් කරනු ලැබූ සමස්ත වාර්තාවට අනුව වැඩිම මදුරු කීටයින් සහිත පරිශ්‍ර හමුව ඇත්තේ නිවාස ආශ්‍රීතව වන අතර එය 1028 කි. මෙහිදී පාසල් 68 ක් ද පරීක්ෂාවට ලක් කර ඇත.

– නිපුන් ඒකනායක

0 views
Main News