ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

May 7, 2022 at 10:22 pm | lanka C news
ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

ඩොලර් බිලියන පහක් සපයා ගැනීම සඳහා මේ වන විටත් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

lankanewsweb අන්තර්ජාල පුවත් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ සුවිශේෂී නායකත්වයක් අවශ්‍ය වෙන්නේ අර්බුදයක දී බවයි.

මේ මොහොතේ ඉදිරිපත් නොවන්නේ නම් ජනතාව තම පාර්ශ්වය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙන බව ද හෙතෙම කියා සිටී.

“සුවිශේෂී නායකත්වයක් ඕනෙ වෙන්නේ සාමාන්‍ය තත්වයකදී නෙවෙයි අර්බුදයකදී. ඒ අනුව අර්බුදයක් පවතින අවස්ථාවක අපි ඒකට අපේ විසඳුම දෙන්න ඉදිරිපත් විය යුතුයි. පවතින තත්වය කළමනාකරණය කරගෙන රටට හොඳම දේ ලබාදෙන එක තමයි අපේ අරමුණ. අනිත් එක අපි මේ වෙලාවේ ඉදිරිපත් නොවෙනවා නම් ජනතාව අපි කෙරෙහි තියපු විශ්වාසයත් බිඳ වැටෙනවා.

ඒ අනුව යෝජනා 13කින් යුක්ත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විසඳුම ක්‍රියාත්මක කරන්න අපි එකඟතාවකට ආවා. එහිදී මුලින්ම 20 වැනි සංශෝධනය ඉවත් කරලා 19 වැනි සංශෝධනය යළි බලාත්මක කෙරෙනවා. ඊළඟට දීර්ඝ කාලයක් තිස්සේ රටේ ඉල්ලීමක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරනවා. ඒ අතර සියලු පක්ෂ එකතු කරගත් ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවනවා, 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් සමග. මේ සමස්ත වැඩපිළිවෙල උපරිම මාස 18ක් තුළ අවසන් කෙරෙන විදියට තමයි නීතීඥ සංගමය යෝජනා කරලා තියෙන්නේ. ඇත්තෙන්ම රටේ ස්වාධීන පාර්ශ්වයක් හැටියට අපට මේ මොහොතේ පිළිගන්න පුළුවන් හොඳම පාර්ශ්වය තමයි නීතීඥ සංගමය. අපි ඔවුන්ගේ යෝජනාවලියට පිළිගන්න තීරණය කළා.

අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ සංයුතිය ඇතුළු අවුල් ජාලාවක් මෙතන තියෙනවා. නමුත් මේ රටේ පිළිකා රෝගීන්ට දැන් බෙහෙත් නැතිවෙලා, වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට බෙහෙත් නැතිවෙමින් යනවා. අපි දැනටත් ඒවා සොයාදෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඊළඟට ආහාර අර්බුදය ඒවි. ඉතින් අපි මේ මොහොතේ මේ ව්‍යසනයෙන් ජනතාව බේරාගන්න ක්‍රියාත්මක නොවෙනවා නම් මොකක්ද අපේ දේශපාලනයෙන් ඇති වැඩේ … ?

ඒ වගේම මෙතන දේශපාලන ප්‍රශ්න විසඳාගැනීම විතරක් නෙවෙයි බරපතළ ආර්ථික අර්බුදයකුත් තිබෙනවා. අපි ඒකටත් මුහුණ දෙන්න විසඳුම් හොයන්න පසුගිය කාලය තුළ සෑහෙන්න වෙහෙස වුණා. ඒ නිසා අපි මේ ජාතික සමගි ආණ්ඩුව පිහිටුවන්න එකතුවෙන්නෙ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නත් මූලික පියවරක් අතේ තියාගෙන. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 05ක් සපයා ගැනීමට අපි මේ වෙනකොටත් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා යම් එකඟතාවන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනවලට කතා කරන්න, ඒ ප්‍රශ්න විසඳාගන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන තියෙනවා. අපට මේකෙන් අපේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගනිමින් මේ රට කඩාවැටෙන්න නොදී අල්ලාගෙන, ඒ අතරේ ඉතිරි ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්න අවශ්‍ය ප්‍රවේශය ගන්න පුළුවන්.

ඒ අනුව අපි හොඳ ආත්ම විශ්වාසයකින්, ඒ වගේම හොඳ සූදානමකින් යුතුව තමයි මේ වැඩේට අතගහන්නේ. අපට මේ අර්බුදයට මුහුණ දීලා රටක් හැටියට ගොඩ එන්න පුළුවන්”

187,847 views

44 Comments to “ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත”

  1. Ranilaa says:

    Dan ithin ubala balu banum banna Ranil ge lewakanna wenne…metatarsal thamai ooi karmaya kiyanne.