තක්සේරු දෙපාර්තමේන්තුව දියකරහැරීමේ කුමන්ත්‍රණයක්.. විරෝධතා.. උද්ඝෝෂණ.. අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

November 27, 2017 at 5:30 pm | lanka C news
තක්සේරු දෙපාර්තමේන්තුව දියකරහැරීමේ කුමන්ත්‍රණයක්.. විරෝධතා.. උද්ඝෝෂණ.. අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තක්සේරු දෙපාර්තමේන්තුව දියකරහැරීමේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා උද්ඝෝෂණය හා ඒ අවසන අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ඉටුකරණු ලබන කාර්යභාරය ප්‍රධාන තක්සේරුකරු ප්‍රමුඛ පරිපාලනය විසින්  ක්‍රම ක්‍රමයෙන් අත්හරිමින්, පුද්ගලික තක්සේරු ආයතන හා පුද්ගලික තක්සේරුකරුවන්ට එම කාර්යයන් ලබාදෙමින් මහජන මුදල් විනාශ කිරීමට හා වංචා කිරීමට මගපෑදෙන පරිදි කටයුතු කිරීමට දරණ ප්‍රයත්නයට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ගයකට එලඹීමට තක්සේරු දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ බහුතරය නියෝජනය කරණ වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස අප සංගමය තීරණය කර ඇත.

ඒ අනුව තක්සේරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරි පිටදී උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එම උද්ඝෝෂනයෙන් පසු සාධාරණ විසඳුමක් ලැබෙන තුරු අකණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතය.

තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ඉටුකරණු ලබන පුළුල් කාර්යභාරය සැලකිල්ලට ගනිමින් හා රටේ සංවර්ධනයට ලැබිය යුතු සැබෑ දායකත්වය ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ   අදාල වැඩපිළිවෙලක්  වසර 06 කට අධික කාලයක් පුරා පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන්  අනුමත කර ගැනීමට හැකි විය.

එලෙස අනුමත කරණු ලැබූ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට රාජ්‍ය නිලධාරී පිරිසක් විසින් බාධා කිරීම නිසා අදාල කාර්ය ඉටුකර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු  කරවා ගැනීමටද සිදු විය.

තක්සේරු දෙපාර්තමේන්තුව රටේ ආර්ථික සංවර්ධනයට දායක වන කාරය්‍යක්ෂම ආයතනයක් බවට පත් කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් තුලින් ලබාගත් අදාල අනුමැතියද සැලකිල්ලට නොගෙන අදාල අනුමැතිය දෙපාර්තමේන්තුව අකර්මන්‍ය කරණ ආයතන ප්‍රධානියාගේ හිතවතුන් පිරිසක් වෙත තනතුරු හා වරප්‍රසාද ලබාදීමේ පටු කූඨෝපායක් බවට පෙරලාගෙන ඇත.

රජය හා රජයට අනුබද්ධ ආයතන වල සියළු තක්සේරු කටයුතු ව්‍යවස්ථාපිතවම හෝ අනිවාර්ය ලෙස රජයේ ප්‍රධාන තක්සේරුකරු ‍වෙත පවරා තිබුනේ තක්සෙරුකරණය හරහා මූල්‍ය විණයක් හා පාරදෘශ්‍ය භාවයක් ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතය නවතා ගැනීමේ අරමුණිනි. එහෙත් ප්‍රධාන තක්සෙරුකරුගේ කාර්යභාරය අත්හැරීම හා එය පුද්ගලික අංශය වෙත පවරා දීම හරහා මෙම අරමුණු කිසිවක් සාක්ෂාත් නොවනු ඇත.

මෙනිසා මෙම විනාශකාරී ක්‍රියාවන්හි අවසන් අරමුණ වනුයේ දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමෙන් පසු දෙපාර්තමේන්තුව මගින් ඉටුකරණු ලබන කාර්ය පුද්ගලික අංශය වෙත ලබා ගනිමින් විශ්‍රාම යාමෙන් අනතුරුව අදාල නිලධාරීන් විසින්ම පුද්ලික තක්සේරුකරුවන් ලෙස එම කාර්යයන් ඉටුකරමින් මහජන මුදල් වංචා කරමින් සිය සාක්කු පුරවා ගැනීමට දරණ කුමන්ත්‍රණකාරී උත්සාහයකි. මෙහි ආරම්භය සනිටුහන් කරමින් මේ වන විටත් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් ඉටුකල යුතු කාර්යභාරය ක්‍රම ක්‍රමයෙන් අත්හරිමින් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වීමට ඉඩ හරිමින් පවතී.

ඩී.එම්.සෙනවිරත්න
ලේකම්
රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය

174 views