තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න… ව්‍යාපාරික නීල හොරු රට පුරා..

April 12, 2019 at 8:40 am | lanka C news
තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න… ව්‍යාපාරික නීල හොරු රට පුරා..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘’ පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් (Apartment )රට පුරා, තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න’’

මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ලාභ උපයන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ Apartment හෙවත් තට්ටු නිවාස සාදා විකිණීමේ ව්‍යාපාරයයි. මෙවැනි තට්ටු නිවාස සෑදීම සදහා ආයතන කිහිපයකින් නිසි අවසර පත් ලබා ගත යුතු වුවද සමහර සමාගම් ඉදිකරනු ලබන මෙවැනි තට්ටු නිවාස සදහා ගත යුතු අවසර ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු වී ඇත.

බස්නාහිර පළාතේ මෙවැනි තට්ටු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 500 ක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇති අතර ඒවායින් සමහර තට්ටු නිවාස ව්‍යාපෘති සදහා අවසර ලබා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරීන් පවා දැනුවත් නැත. එහෙත් අදාල අනුමැතිය සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරියාගේ අනුමැතිය අත්‍යවශ්‍යය.

සාමාන්‍යයෙන් මෙවැනි තට්ටු නිවාස සදහා පාරිභෝගිකයා මුදල් ගෙවනු ලබන්නේ තට්ටු නිවාස ඉදිකිරීමට ප්‍රථමය. එම නිසා ශ්‍රී ලංකාවාසී සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ මෙවැනි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

මෙසේ කූට ව්‍යාපාරවල යෙදෙන සමහර සමාගම් වල වෙබ් අඩවිවල එහි හිමිකරුවන්  දේශපාලකයි සමග සිටින ඡායාරෑප දැකගත හැක. ඒ සමගම ඔවුන් ප්‍රකාශ කරන්නේ සමහර අමාත්‍යවරු තමන්ගේ මිතුරන් බවයි. එසේ කරනු ලබන්නේ පාරිභෝගිකයින් ගොනාට ඇන්දවීමටයි.

මීට පෙර මෙරට පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් විවිධ සමාගම් වලට රැවටී තම මුදල් විනාශකර ගත ආකාරය සිහිගන්වන අතර තමා දුක්මහන්සියෙන් උපයාගත් මුදල් එවැනි ව්‍යාපාරවල ආයෝජනය කල පිරිස් අද තමන්ගේ රෝගයට  බෙහෙත් පවා ලබා ගැනීමට  නොහැකිව අසරණව කල් ගෙවයි.

එසේ නීත්‍යනුකූල අවසර ලබා නොගෙන ඉදිකර ඇති තට්ටු නිවාස පිළිබද විස්තර අප ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

50 views
Main News