තරග පාවාදීම ගැන 2011 ලෝක කුසලාන සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

June 27, 2020 at 10:40 am | lanka C news
තරග පාවාදීම ගැන 2011 ලෝක කුසලාන සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන් බවට සාධාරණ සැකයක් ඇතැයි පැවසීමත් සමග එම ලෝක කුසලානට සහභාගි වු සියලූම ක‍්‍රීඩකයන්ගෙන් සාක්ෂි විමසීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය සුදානමින් සිටින බව වාර්තා වේ.

2019 අංක 24 දරණ පණත අනුව ක‍්‍රීඩාවේ වැරදි වැලැක්වීම සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් වෙනම විමර්ෂණ ඒකකයක් පිහිටුවන අතර එම විමර්ෂණ ඒකකයේ සාමාජිකයන් වශයෙන් හිටපු අපරාධ විමර්ෂණ අංශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත වේ.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කරුණු 24 ක් සඳහන් කරමින් ඔහුට සැක හිතුන තැන් සම්බන්ධව එකින් එක අදාළ විමර්ෂණ ඒකකයට භාරදී තිබේ.

කෙසේ වෙතත් 2011 ලෝක කුසලාන පාවාදීමේ කතාව සම්බන්ධව සත්‍ය තොරතුරු ලබා ගැනීමට නම් එම ලෝක කුසලාන ක‍්‍රීඩා කළ සියලූම ක‍්‍රීඩකයන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ප‍්‍රශ්න කිරීමට සිදුව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

අවසන් මහා තරගය ක‍්‍රීඩා කළ කී‍්‍රඩකයන් 11 දෙනාට අමතරව බංකුවේ සිටි ක‍්‍රීඩකයන්ද ඉදිරියේදී කටඋත්තර ලබා දීමට අදාළ විමර්ෂණ ඒකකයට සහභාගි විය යුතුවේ.

ඒ අනූව ලබා ගන්නා සාක්ෂි සහ කරුණු මත හැකි ඉක්මනින් අලූත්ගමගේ මහතාගේ කතාව සම්බන්ධව සත්‍ය අසත්‍යතාව ජනතාවට ලබාදීමට ක‍්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ ඒකකයට හැකි වනු ඇත.

කෙසේ වෙතත් වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසූ පාවාදීමේ කතාව සම්බන්ධව තමා කළ කරුණු සොයා බැලීමේදී එවැනි සිදුවීමක් වු බවට කිසිදු සාක්ෂියක් නොලැබුණ බව පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

– divaina

492 views
Main News