තරුණයා මිය ගියේ හෘදයාබාදයකින්.. බිරිදට, දුවට, පුතාට ගහන පහත් මඩ පිලිකුල් – විමල්ගෙන් නිවේදනයක්..

October 28, 2016 at 2:10 pm | lanka C news
තරුණයා මිය ගියේ හෘදයාබාදයකින්.. බිරිදට, දුවට, පුතාට ගහන පහත් මඩ පිලිකුල් – විමල්ගෙන් නිවේදනයක්..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මිය යාම ගැන කරුණු පැහැදිලි කරමින් විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

ලහිරු ජනිත් තරුණයාගේ මරණය පාදකකර ගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරමින් පවතී. මෙය ලියැවෙන්නේ ඊට පිළිතුරු වශයෙනි.

ලහිරු ජනිත් මාගේ පුතාගේ සමීප මිතුරකු මෙන්ම අපගේ අසල්වැසියෙකු ද වේ. පුතුගේ මිතුරුදම හේතුවෙන් ඔහු අපගේ නිවසට නිතර ආ ගිය අයෙකි. මරණය සිදු වු දිනයේද ඔහු අප නිවසට පැමිණි ඇති අතර එදින නිවසෙහි පුතුට අමතරව මිතුරන් කිහිප දෙනෙකුද සිට ඇත. මා එදින කොළඹින් බැහැරව සිටි අතර රාත්‍රියේ නිවසෙහි සිටියේ නැත.

මේ මිතුරු කැල සතුටු සාමීචියෙහි යෙදෙමින්ද සිනමාපටයක් නැරඹීමෙන්ද අනතුරුව රාත්‍රියෙහි නින්දට ගොස් ඇති අතර ලහිරු ජනිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මා හට ගැන ගැනීමට ලැබිණි. ඔහු මියගියේ මාගේ නිවසෙහි නිසා මේ වන විට ඒ මියයෑම පාදකකර ගනිමින් දේශපාලන සතුරෝ විවිධ මඩ ප්‍රචාරයන් සහ අවලාද නිර්මාණය කරමින් සිටිති. මාගේ බිරිඳත්, පුතනුවන් හා දියණියන් පාදක කරමින් නිර්මාණයකර ඇති එම මඩ හා අවලාද ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකිමි.

එසේම මෙම මියයෑම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ වූවාට පසු මෙම මඩ ප්‍රචාර සහ අවලාදයන් කොතරම් නින්දිත අයුරින් නිර්මාණය කොට ඇතිදැයි ඔබට වැටහෙනු ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මෙම මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාබාධයකින් සිදුව ඇති බවත් සඳහන්ව තිබේ. සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ හෘදයාබාධය සිදුව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පරික්ෂා කිරිමටය.

අවසන් වශයෙන් මාගේ දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් ඉහත ආකාරයේ මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටිම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙමි.

විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ

87 views
Main News