තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ආ අය මැතිවරණ නීතියට පයින් ගසා රජයේ මුදලින් බඩු බෙදයි.. අයථා පත්වීම් දෙයි..

September 25, 2019 at 8:02 am | lanka C news

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ පුරසාරම් කතා කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයක් කැඳවා තිබියදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නියෝග තුට්ටුවකටවත් නොසලකා මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවකයන්ට නීතිවිරෝධී පත්වීම් ලබාදීම, කඩ කාමර, නිවාස, සිමෙන්ති ලබාදීම ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ ලෙස සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී පත්වීම් ලබාදීම බරපතළ ලෙස සිදු කරන බවත් ඒ යටතේ සෞඛ්‍ය හා පෝෂණ සහායක තනතුරු 700ක් හා විදුහල්පති පත්වීම් 1958 ලබාදීමට කටයුතු කරන බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම විදුහල්පති පත්වීම් ලබාදීමේදී පැවති තරග විභාගය සහ සම්මුඛ පරීක්ෂණ අනුව තේරී පත්වූ අයගේ ලැයිස්තුව ඉවත දමා එජාප හිතවතුන් 862කගේ නම් ඇතුළත් කළ නව ලැයිස්තුවක් සකසා ඇති බව ද ඒ මහතා අනාවරණය කළේය. මෙම පත්වීම් ලබාදීමට අරලියගහ මන්දිරයේ සැප්තැම්බර් 24 සංවිධානය කළ උත්සවය මැතිවරණ කොමිසම විසින් අවලංගු කළත් 2019 ඔක්තෝබර් 02 වැනිදා මහරගම අධ්‍යාපන විද්‍යාපීඨයේ දී සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වා එම කටයුතු සිදු කිරීමට තරම් මෙම ආණ්ඩුව නිර්ලජ්ජිත වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ජල සම්පාදන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල ද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා දහස් ගණනින් අයථා පත්වීම් ලබා දීම සැප්තැම්බර් 19 වැනිදා සිට සිදු කරන බව ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

‘ අද සිමෙන්ති කොට්ට 12000ක්’

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වීරවිල ක්‍රීඩාංගණයට පවුල් 800ක් කැඳවා එක් පවුලකට සිමෙන්ති කොට්ට 15 බැගින් සිමෙන්ති කොට්ට 12000ක් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් බෙදා දීම සිදු කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවාස 12ක් සුදුසුකම් ලැබූ, අඩු ආදායම්ලාභී පවුල් ඉවත දමා තම හෙන්චයියන් වෙත ලබා දීමත් මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් කඩ කාමර තම හිතවතුන්ට ලබා දීමත් මේ දිනවල සිදු කරන බව ද පෙන්වා දුන්නේය.

මෙසේ මැතිවරණ නීති කඩමින් සිදු කරන රාජ්‍ය සම්පත් අයථා භාවිතය පිළිබඳ නීතිමය පියවර ගැනීමටත් තානාපති නිලධාරීන් දැනුවත් කිරීමටත් තම පක්ෂය කටයුතු කරන බව කී ජයන්ත සමරවීර මහතා මේ පිළිබඳව පිළිබඳ පැමිණිලි 0112 890670, 0701262189 (ශාන්ත දහනායක), 0760761181 (මහින්ද සමරතුංග) යන දුරකථන අංකවලටත් 0112890671 යන ෆැක්ස් අංකයට හෝ jnpsrilanka1@gmail.com යන විද්්‍යුත් තැපෑලට හෝ වහාම යොමුකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභිකවරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර සහ හිටපු පළාත් සභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

16,403 Viewers

4 Comments to “තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ආ අය මැතිවරණ නීතියට පයින් ගසා රජයේ මුදලින් බඩු බෙදයි.. අයථා පත්වීම් දෙයි..”

  1. රනිල් says:

    අහන්න තියෙන්නෙ සජිත්ගෙ අම්ම ආප්ප විකුනල ගත්ත සල්ලි වලින්ද කියල ඕව කරන්න‍ෙ

  2. අපි යූඑන්පී says:

    මෝඩ බය්යන්ට තේරෙන්නෙ නැහැ. උගත් නැනවත් සජිත් තුමා උත්සාහ කරන්නේ රජයේ මුදලින් ජනතාවට නොමිලේ සියලු යස ඉසුරු දී රට දියුනු කරනනය්.

  3. siri says:

    danda thopi mewa denawa dakke? yako awrudu 15 ka idan Sajiya mewa bedanawa….

  4. පොරමෝලා says:

    කෝ යකෝ මැකෝ ?

Main News