තවත් ඇටසැකිලි ඇති බවට සැක.. මන්නාරම් සමූහ මිණීවල පුලුල් කිරීමට පියවර..

January 3, 2019 at 5:30 pm | lanka C news
තවත් ඇටසැකිලි ඇති බවට සැක.. මන්නාරම් සමූහ මිණීවල පුලුල් කිරීමට පියවර..

මන්නාරම් සමූහ මිණීවලේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා තිබූ කැනීම් කටයුතු යලි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර කැනීම් සිදු කෙරෙන මිණිවල අද දිනයේ සිට පුලුල් කිරීමට පියවර ගෙන ඇති බවට කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

මේ අනුව 122 වන දිනට කැනීම් කටයුතු ආරම්භ කොට ඇති අතර ඉදිරි දින කිහිපය තුල පළමුව සමූහ මිණීවල වටා ඉදිකොට ඇති ආරක්ෂිත වැට ඉවත් කොට ආවාරණය ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින් රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ,

‘‘  මන්නාරම් සමූහ මිණිවලේ අයින්වල මතුකරගෙන ඇති ඇටසැකිලි ඉවත් කිරීමට යාමේදී හානි විය හැකියි ඒ නිසා අපි තීරණය කලා මේ වල පුලුල් කරන්න ඕන කියලා ඒ අනුව ප්‍රධාන පාර දෙසටත් අතුරු මාර්ගයක් පිහිටි දෙසටත් අපි පුලුල් කරන්න පියවර ගත්තා ඒ අනුව මීටර් දෙකක් පමණ අපි මේ වල පුලුල් කරනවා ඒකට හේතුව මේ වලේ මායිමෙත් සිරුරු කොටස් තියෙන නිසා එහාටත් ඇති කියල හිතනවා අපිට පරික්ෂණ කටයුතු නවත්වන්න වෙන්නේ සම්පූරණයෙන්ම අවසන් වන මායිමක් දක්වා යන්න ඕන.

‘ඒනිසා අපි පස්කලන යන්ත්‍රයක් දාලා මගේ නිරීක්ෂණයෙන් පුලුල් කරන ප්‍රදේශයේ උඩ පස් ඉවත් කරලා ඉතිරි ප්‍රමාණය සාමාන්‍ය පරිදි කැනීම් සිදුකරගෙන යන්න සූදානමින් ඉන්නවා.යනුවෙනි.

මේ වන විට සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 283 කට අදාළ අස්ථි මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 274 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ  යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේය

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

4,567 Viewers
Main News