තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..

November 7, 2020 at 9:20 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 04ක් අද දිනයේ සිදුව ඇත.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ප‍්‍රමාණය 34කි.

අද දිනයේ මරණයට පත් වූ පුද්ගලයන්ගේ විස්තර මෙසේය.

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ හෘදයාබාදක් සමගින් කොරෝනා ආසාදනයයි.

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඇය දීර්ඝ කාලයක් රෝගාබාධ රාශියකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් උණ රෝගයෙන් පෙලීම නිසා තම නිවසේදී මිය ගොස් ඇත. ඔහු දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

ගනේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී රෝගී වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදනය සමගින් නිවුමෝනියාව උත්සන්න වීමයි.

67,058 views

18 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 04ක් මිය යයි.. දෙදෙනෙක් නිවසේදී මියගිහින්..”

  1. Mahesh says:

    මොනවා කරන්නද? මේවා ඉතින් පාලකයන්ගේ අවස්ථාවාදී කමෙයි මිනිස්සුන්ගේ මෝඩ කමෙයි ප්‍රතිඵල තමයි. අර ප්‍රභාකරන් කිව්වා වගේ අපේ උන්ට හැම දේම මතක තියෙන්නේ සතියයි දෙකයි නේ. පළමු වෙනි රැල්ල කොහොම හරි අමාරුවෙන් පාලනය කරාට පස්සේ (100%ක්ම පාලනය වුනාද කියන එක නම් සැක සහිතයි ) අපේ උන්ට ඔක්කොම සෞඛ්‍ය පුරුදු අමතක වුනා. Mask එකක් එහෙම දාගෙන යන මිනිස්සුන්ට හිනා වෙන්න පටන් ගත්තා. මීටරය සෙන්ටිමීටරය වුනා. කොටින්ම කිව්වොත් සෞඛ්‍ය අංශ කිඅයන දේවල් තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැතිව පොත් ප්‍රදර්ශන වලට පවා ගියා. (ගිහින් පොත් ගන්නවාට වඩා කලේ මල පෙරේත කමට එක එක කෑම කකා ආතල් ගත්තු එක විතරයි ). ලෝකෙ පුරාම කොරෝනා භයානක විදියට පැතිරෙද්දි දෙවන රැල්ලක අවදානම ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැතිව මිනිස්සු ආයේමත් කානිවල් මානසිකත්වයට ගියා. ආණ්ඩුවත් මේ වැඩේට බොහොම කැමති වුනා. ඇයි ඉතින් උන්ගේ දේශපාලන ප්‍රතිරූපයටත් හොඳයි නේ. ඉතින් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම කොරෝනා ඉවරෙටම ඉවරයි කියලා මිනිස්සුන්ගේ මානසිකත්වය හැදුවා. කොරෝනා පාලනයෙන් ලෝකෙන්ම අංක දෙක වුනා කියලා හිතා ගෙන කවුරුත් ෆුල් ආතල් එකේ හිටියා.

    ඒත් කවුරුවත් නොහිතපු වෙලාවක දෙවන රැල්ල බොහොම දරුණුවටම පැතිරෙන්න ගත්තා. වැඩේ දැන ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. එහෙම හරි දැන ගත්තේ අර ඇඟලුම් සේවිකාවගේ PCR කරන්න තීරණය කරපු ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයාට පින් සිද්ද වෙන්න. එහෙම නොවුනා නම් අදටත් අර මැරෙන ලෙඩ්ඩුන්ව නිවුමෝනියා හා හෘද්‍යාබාධ ගොඩට දාලා අපේ උන් ආතල් එකේ ඉඳීවි කොරෝනා පාලනයෙන් තාමත් අංක දෙක කියලා හිතාගෙන. ඇත්තටම ඒ වෛද්‍යවරයා සහ අර පැනඩෝල් විකිනෙනවා වැඩි එක ගැන සැක කරපු පෑලියගොඩ ලෑලි කඩේ මුදලාලි මහත්තයාවයි ජාතික වීරයෝ. ඒ ගොල්ලො නොවෙන්න දැන් රටේ ලක්ෂ ගානකට ලෙඩේ බෝ වෙලා. දහස් ගණනක් මැරිලා.

    ඇත්තටම අපිට දෙවන රැල්ලට කලින් ඉඳලම ලෑස්ති වෙන්න තිබුනා. මිනිස්සුන්ව කානිවල් මානසිකත්වයට ගේන්නේ නැතිව සෞඛ්‍ය පුරුදු සම්බන්ධ නීති දිගටම තිතටම ක්‍රියාත්මක කරන්න තිබුනා. PCR පහසුකම්, රෝහල් හා දැඩි සත්කාර පහසුකම් වැඩි කරන්න තිබුනා. ඒත් ඒ මොකුත් වුනේ නැහැ. මිනිස්සුන්ට ගොන් ආතල් දුන්නා විතරයි. දෙවන රැල්ල ගැන දැන ගත්තාට පස්සේ උනත් රජයෙන් ගත්තු ක්‍රියාමාර්ග ගැන එච්චර සෑහීමකට පත් වෙන්න බැහැ. කරන්න තිබුනේ දැන ගත්තු ගමන්ම රටම සති දෙකකට තුනකට සම්පූර්ණ lockdown කරලා පුලුවන් තරම් PCR කරලා ලෙඩ්ඩුන්ව හොයාගෙන ආශ්‍රිතයන්ව නිරෝධායනය කරන එක. එහෙම කලා නම් මේක මෙච්චර දුරට පැතිරෙන්නේ වත් මෙච්චර මිනිස්සු මැරෙන්නේ වත් නැහැ. එහෙම නම් ඉක්මනටම ආරක්ෂිත විදියට රට විවෘත කරන්න තිබුනා. එහෙම නැතිව මේ එළොවටත් නැති මෙළොවටත් නැති බාගෙට lockdown වලින් වෙන සෙතක් නැහැ. ඇත්තම කියනවා නම් ආර්ථිකය පැත්තෙන් ගත්තත් මිනිස්සුන්ට වෙන පීඩාව පැත්තෙන් ගත්තත් පොඩි කාලෙකට සම්පූර්ණ වහන එක හොඳයි දිගු කාලයක් බාගෙට ඇදගෙන යනවාට වඩා. අනික තමයි මේ පාර මුලදි සෞඛ්‍ය අංශ කියන දේවල් එච්චර ගනන් ගන්නේ නැතිව මේක අනවශ්‍ය විදියට මිලිටරිකරණය කරන්න හදපු එක. යුද්ධ කරන විදියට මේක කරන්න බැහැ. යුද්ධයකදි ඉදිරිපෙල ඉන්නේ හමුදාව. සහය දක්වන්නේ සෞඛ්‍ය අංශ. ඒත් මේකෙදි වෙන්න ඕන ඒකේ අනිත් පැත්ත. එහෙම නොවුනොත් වෙන්නේ යුද්ධයකදි හමුදාව වෙනුවට සෞඛ්‍ය අංශ යුධ පෙරමුනට යැව්වොත් වෙන දේම තමයි. ඒ වගේම යම් යම් මිථ්‍යාවන්ටත් අනවශ්‍ය තැනක් ලබාදෙනවා කියන එකත් පේන්න තියෙනවා. ඉතින් දැන් වත් හරි තීරණ ගත්තොත් ඇරෙන්න අපේ රට තවත් ඉන්දියාවක් වෙන එක නවත්තන්න බැරි වේවි. තිත්ත වුනත් ඇත්ත මේකයි.

    • ගජධීර says:

      ලෝකෙ කිසිම් රටකට එම රට තුල පැතිරීම 100% වලක්වා ගන්න බැරි වුන, මුළු ලෝකෙම පැතුරුන කොරෝනා එන්න කලින් අපේ රටේ අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ වලට අව්හුවෙලා මිනිස්සු මැරෙන එක නවත්තගන්න පුළුවන් කමක් තියෙද්දීවත් නවත්ත ගත්තු නැති එක ගැන ඔබගේ අදහස කියල හිටියනං ඔබගේ ඔය හෑල්ල කියවන්න තිබුනා. දැනට කොරෝනවෙන අපේ රටේ මැරුණු ගණන 34 . ඉස්ලාමීය අන්තවාදීන්ගේ බෝම්බ වලින් මැරුණු ගණන 269. මොනා කොරන්නද නේද මහේෂ්.

      • Mahesh says:

        අදාල නැති මගුල් කතා කරලා තමුන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්නෙ නැතිව ඉන්න. කලින් ආණ්ඩුවට ත්‍රස්ථවාදී ප්‍රහාර වලක්වා ගන්න බැරි උනා කියලා ඒකෙන් දැන් මේ කොරෝනා කාලේ පිස්සු කෙලින් එක සාධාරණීකරණය වෙන්නේ නැහැ. කලින් ආණ්ඩුවට හරි තීරණ ගන්න බැරි වෙච්ච නිසාම තමයි උන් එළවලා අපි මේ ආණ්ඩුව ගෙනාවේ ඒ ගොල්ලෝ හරි දේ කරයි කියලා හිතලා. ලෝකේ ගොඩක් රටවල් වලට කොරෝනා පළමු රැල්ල පාලනය කරගන්න බැරි වුනේ උන්ගේ ඒක ගැන තිබ්බ අවතක්සේරුවයි උද්ධච්ච කමයි තව ඔය herd immunity වගේ විකාර concepts පස්ස්සේ ගිහිපු නිසයි. දැන් උන් ඒ වැරැද්ද තේරුම් අරගෙන තියෙනවා. අපිටත් දෙවනි රැල්ල 100%ක් නැතත් මීට වැඩිය පාලනය කර ගන්න තිබුනා මුළදිම හරි තීරණයක් අරගෙන සති දෙකකට විතර සම්පූර්ණ lockdown එකකට ගිහින් පුළුවන් තරම් PCR කරලා ලෙඩ්ඩුන්ව හොයා ගෙන ආශ්‍රිතයන්ව නිරෝධායනය කරා නම්. අනික ත්‍රස්ථවාදී ප්‍රහාරය වගේ නෙවෙයි කොරෝනා කියන්නේ එක දිගට තියෙන තර්ජනයක්. ඒක නිසා බොරුවට මැරිච්ච ගණන් සංසන්දනය කරනවා කියන්නේ විහිලුවක්. ත්‍රස්ථවාදී ප්‍රහාරය වුනා ඉවරයි. ඒත් කොරෝනාව දිගටම පැතිරෙන්න ගත්තොත් ඔය 34 ඉස්සරහට තවත් බින්දු 3ක් 4ක් එකතු වෙන්න පුළුවන්. අනික තමුන්ට කවුරුවත් බල කරේ නැහැ නේ මගේ කොමෙන්ට් එක කියවන්න කියලා. අකමැති නම් අහක බලාගෙන යන්න. එච්චරයි.

  2. ivan says:

    Corona is all-over not only to Sri Lanka , we are still better controlled then most other countries , every this is not politic , people who comment above can grow turmeric during at home.

Main News