තව දුරටත් තද වැසි..

November 11, 2021 at 2:12 am | lanka C news
තව දුරටත් තද වැසි..

ආපදා තත්වය ක්‍රමිකව ඇති වු තත්වයක් බවත් ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් කටයුතු කළ අතර විශේෂයෙන් ම ආපදා අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂා කාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බැවින් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී 10 දින පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යක්ෂ ‌ජෙනරාල්තුමා මේ අදහස් පල කරන ලදී.

පසුගිය දින දහය තුළ ලංකාවේ දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 126 ක් මෙම ආපදා හේතුවෙන් බලපෑමට ලක් වී ඇති බවත් ඒසේම පුද්ගලයින් 20 ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඒක් අතුරුදහන් වීමක් වාර්තා වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැවසීය. මෙම මියයෑම්වලින් 13 ක් දියේ ගිලී මිය යෑම් වශයෙන් වාර්තා වන බවත් ඒය වළක්වා ගත හැකි මියයාම් බවත් සැඩපහර පිළිබදව දැනුවත් භාවයෙන් යුතුව අපරීක්ෂාකාරීව ජල මාර්ගවල පිහිනීම, පාරු පැදීම වැනි අවදානම් ක්‍රියා හේතුවෙන් සිදුවී ඇති බව මරණ බව මිය යාම් පිළිබද වාර්තා පරීක්ෂා කරන විට පෙනී යන බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

එසේම මෙම අපදාතත්වය හේතුවෙන් අවදානමට පවුල් 384 ක පුද්ගලයින් 1498 ක සංඛ්‍යාවක් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත් එසේම පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආපදා අවස්ථාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාම වෙනුවට ඥාතී නිවෙස් හෝ හිතවතුන්ගේ නිවෙස් වෙත යාමට හැකි පිරිස ඒම ක්‍රමවේදය අනුගමන කිරීම සම්බන්ධයෙන් කළ දැනුම් දීම අනුව ඒම පවුල් 1020 ක පුද්ගලයින් 3,537 ක් ඥාතී නිවෙස් හෝ හිතවතුන්ගේ නිවෙස්වල ජීවත් වන බව පෙන්වා දෙන ලදී. පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 17,481 ක පුද්ගලයින් 62,247 ක් බලපෑමට ලක් වී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තවදුරටත් පෙන්වා දෙන ලදී.

ආපදාවට ලක් වු පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමට ජාතික ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් අදාල සම්බන්ධිකරණය දිස්ත්‍රික් ලේකම්වරු මහින් සිදු කරන බවත් ඒසේම සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කරන අතර සෙවීම් මුදවා ගැනීම් සදහා අතිරේක හමුදා කණ්ඩායම් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවත් පැවසීය

ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන

ඔබ ජීවත් වන ප්‍රදේශයේ නායයාම් පුර්ව නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශයක් නම් හෝ නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති නම් මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් ත්තවය පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා (10) දින පැවති මාධ්‍ය හමුවේ දී ජනතාවට අවධාරණය කරන ලදී.

විශේෂයෙන්ම වර්ෂාවත් සමග නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, හා දුරකථන කණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙර පැවති උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කළ යුතු බවත් ඒම ස්ථාන ස්ථානීය පරීක්ෂාවකින් පසු සුරක්ෂිතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ජනතාවට ඉල්ලා සිටින ලදී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක

ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ හෙට දිනය වන විට ඉන්දියාවේ තමිල්නාඩු දෙසට ගමන් කරනු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අද (10) දින පැවති මාධ්‍ය හමුවේ දී පෙන්වා දෙන ලදී. ඒසේම මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් නැවත දැනුම් දෙන තුරු වැළකී සිටින මෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන ලදී.

එසේම ඉහත පද්ධතියේ බලපෑම හේත්වෙන් ඉදිරි දින කීපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් ඒසේම සබරගමුව, මධ්‍යම, ඌව සහ පළාත්වලට මි.මී. 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පැවසීය.

ඒසේම මෙම පද්ධතිය මුහුදු සීමාවෙන් ගොඩබිම් සීමාව දක්වා දක්වා ගමන් කිරීමේ දී දිවයින තුළ සුළං තත්වයේ වැඩිවීමක් වාර්තාවිය හැකි බවත් සුලගේ වේගය පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළ‌ගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බවත් අකුණු අනතුරු ඇතිවිය හැකි බවත් තවදුරටත් අවධාරණය කරන ලදී. ඒසේම ගිගුරු ම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

– Janaka Handunpathiraja

22,983 views

One Comment to “තව දුරටත් තද වැසි..”

  1. Mohammed Pakeer says:

    Ayi ayiyo, Maathiya. Apilage ratata thiyawediyaawa hedenna wageyi!!

Main News