තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කරයි…

September 27, 2016 at 2:02 am | lanka C news
තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කරයි…

නිවැරදි සංවර්ධනයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වැනිදා කොළඹදී පවත්වන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

සුමේධා ජී. ජයසේන වැඩබලන අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා පැවති ජාත්‍යන්තර සාම දින වැඩමුළුව හා සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. ශ්‍රී ලංකා එක්සත් ජාතීන් මිත්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර සාම දින වැඩමුළුව සහ සමරු උත්සවය පැවැත්වුණේ කොළඹ පිහිටි ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරයේදීය.

මෙහිදී අදහස් දැක්වූ තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය රට ඉදිරියට ගෙනයාමේදී මෙම තිරසර සංවර්ධන ඉලක්ක 17 ජයගැනීම ඉතා වැදගත් වන බවද පැවසුවාය.

“අද දිනයේ ලෝ පුරා “එක්සත් ජාතින්” විසින් ප්‍රකාශිත “ජාත්‍යන්තර සාම දිනය” සමරනු ලබයි මෙම වසරේ සාම දින තේමාව ලෙස ප්‍රකාශ කර ඇත්තේ “සාමය ගොඩනැංවීමමේ ගඩොල් වනුයේ තිරසර සංවර්ධන ඉලක්ක වේ” යනුවෙනි.

මාගේ අමාත්‍යංශය තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරි වසර 15 තුළ  ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ලෝකයේ රටවල් 193ක ප්‍රධානීන් 2015 සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ එක්වී තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ලෝකයට එළිදක්වනු ලැබීය.

දරිද්‍රතාවය පිටුදැකීම, කුසගින්න පිටුදැකිම, නිරෝගී පැවැත්ම සහ යහපත් සෞඛ්‍ය ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව ඇතුළු ඉලක්ක 17 ක් මෙම තිරසර සංවර්ධනයට ඇතුළත්. මෙම ඉලක්ක 17 ජයගැනීම අප සියලුම දෙනාගේ අභිප්‍රාය විය යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔක්තොම්බර් 05 වැනිදා කොළඹදී පැවැත්වීමට මෙ වන විට සියලු කටයුතු සුදානම් කරමින් පවතිනවා

තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේදී සත්වයින් හා පරිසරය සමග කෙරෙන සම්බන්ධයද ඉතාමත් වැදගත්.සාගර සම්පත් සුරක්ෂිතතාව 14වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබෙනවා. වනජීවීන් ඇතුළු වන සම්පත් රැකගැනීම 15වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබෙනවා. තිරසර සංවර්ධනයේදී සතා සිවුපාවාට හා පරිසරයට දක්වා තිබෙන අවධානය එමගින්ම පෙන්නුම් කෙරෙනවා.

එයින් 16 වන ඉලක්කය ලෙසින් ප්‍රකාශිත “සාමය හා සාධාරණත්වය” ඉතා වැදගත් වනු යේ සාමයෙන් තොරව තිරසර සංවර්ධනයක් ගැන කථා කළ නොහැකි නිසාය. තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදී අද දින අප සමරන “සාමය” උදාකර ගැනීම හා පවත්වා ගෙන යෑම අතිශයින් ම වැදගත්වේ. විශේෂයෙන්ම වසර 30ක් පුරා ඇදීගිය ආසියාවේ දීර්ඝතම යුධමය පීඩාවන්ට මුහුණදුන් අප රටේ එහි අමිහිරි වේදනාවන් සහ බියකරු අත්දැකීම් පුද්ගලිකවම අත්විදීමට සිදුවුනු ඉතිහාසයකට අප සැම මුහුණ දී ඇත. ඉදිරි වසර 15 මෙන්ම ඉන් ඔබ්බටත් සාමය සඳහා වු “තිරසර සංවර්ධන ඉලක්ක” ජය ගැනීම අප සැමගේ වගකීමක් වනු ඇත. ඒ සඳහා ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා අපට මග පෙන්වනවා.

සාමය සමාදානය සහ මානව අභිවෘධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන “ශ්‍රී ලංකා එක්සත් ජාතීන් මිත්‍රත්ව සංවිධානය” (සන්ෆෝ) එවකට පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය කේ. බී රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පීටර් විදම් මැතිතුමාගේ ආශිර්වාදයෙන් ආරම්භවී පසුගිය වසර 17 පුරා සාමය, ළමා සංවර්ධනය, තරුණ සේවා, අධ්‍යාපනය, සමාජ සේවා, ජාත්‍යන්තර අවබෝධය යනාදී විවිධ ක්ෂේත්‍රවල දස ලක්ෂ සංඛ්‍යාත පිරිස් සහභාගී කරගත් වැඩසටහන් පවත්වා ඇත. වර්තමානයේ දී සන්ෆෝ අනුශාසක අප පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරූ  ජයසූරිය මැතිතුමාගේ ආශිර්වාදය ඇතුව ලෝක සාම ගම්මානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබීම අතිශයින්ම සුවිශේෂී වන අතර ඒ සඳහා මාගේ සුභපැතුම් මෙම සාම දිනයේදී පිරිනමන්නෙමි.

පසුගිය 10 වන දින සිට 25 වන දින දක්වා මෙම සැප්තැම්බර් මාසය තුළ “සන්ෆෝ” මගින් ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සහ වැඩසටහන් පවත්වාගෙන යන අතර සාම දිනය වෙනුවෙන් අද දිනයේ මෙම ස්ථානයේ දී පවත්වන උත්සවයට මා සහභාගී වන්නේ ඉතා සතුටිනි. මීට පෙරද සමාජ සේවා, කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය වශයෙන් විවිධ “සන්ෆෝ” වැඩසටහන්වලට මා සහභාගී වී ඇත.

සාමය ගැන කතාකරනවිට එය අපගේ මනස තුළ ඇති වන “පුද්ගලික සාමය” අපගේ නිවස තුළ ඇතිකර ගතයුතු “පවුලේ සාමය” සමාජයෙහි “සාමූහික කණ්ඩායම් සාමය” තුළින් අප ජීවත්වන ගමේ නගරයේ පළාතේ රටේ සහ ලොවේ සාමය දක්වා ක්‍රියාත්මක වියයුතුයි.

එලෙසම බුදු දහමින් පෝෂිත සහ අනෙකුත් ආගම්වලින් ප්‍රකාශිත “අධ්‍යාත්මික සාමය” තුළ තිරසර සංවර්ධන ඉලක්ක ජයගත් සාමකාමී රටක් සහ ලොවක් ඇතිවේවායි මම පතමි.” යනුවෙන්ද සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

තිරසර සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකා ඉන්දියා සහයෝගීතා සම්මාන පිරිනැමීමද සිදුකෙරුනේ සුමේධා ජී. ජයසේන මහත්මිය අතිනි.

– ප්‍රසාද් මංජු

52 views

One Comment to “තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කරයි…”

  1. Boo says:

    අයියෝ ඕක මොකක්ද, ඔය තිරසර 17 ගැන විතරක් නෙමෙයි, අර දවස් 100 න් අලුත් රටක්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ගූගල් බැලුන් , නොමිලේ Wi-Fi , හෙලිකොප්ටර්, ලම්බෝගිනි, ඩුබායි මාලිගා, විදේශ බැංකු ගිණුම්, රත්තරන් අස්සයෝ, ජනවාරි 8 දා හමුදා කුමන්ත්‍රණය, අවන්ගාර්ඩ් , වසීම් තාජුදීන් ගැන කක්කුස්සි කටා රාජිත දුටු පැහැදිලි CCTV දර්ශන, පොර්ට් සිටි එක, රන්ජන් කියන බුරුවා අල්ලපු කන්ටේනර් ගැන එහෙම විතරක් නෙමෙයි රේගුවෙන් පන්නපු ප්‍රාඩෝ, මහා බැංකු මංකොල්ලය, මං තීරු ගැලවීම, පුතා අරන් රටේ වියදමින් මහා එකා UN එකට ගිය හැටි, මහා එකාගේ මල්ලි ටෙලිකොම් එකෙන් කන හැටි, ඕනේ ගොනෙක් උපදේශකලා පනස් ගණනක් රටේ අපේ වියදමෙන් පත් කර ගැනීම්, පවුල් පත්වීම්, රටට ජාතියට විරුද්ධව විදේශ සමඟ කුමන්ත්‍රණය කිරීම් ගැන එහෙමත් අපි දැන් සෑහෙන්න දැනුවත් වෙලයි ඉන්නේ.

    වරෙල්ලකෝ අපිට තව සුරංගනා කතා සමඟ බොරු කියන්න, රෙදි ගලෝල හෙළුවෙන් යවන්නේ මෙදා පාර. පර බල්ලෝ.

Main News