තේ කර්මාන්ත ශාලාවක කසල දික්ඔය ඇළට මුදාහරී…

May 18, 2019 at 12:13 am | lanka C news
තේ කර්මාන්ත ශාලාවක කසල දික්ඔය ඇළට මුදාහරී…

හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළේ ජලය තද කලු පැහැයෙන් ගලා බසින බව  කාසල්රි ජලාශයේ ධිවරයෝ පවසයි.

ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග දික්ඔය ඇළේ ගලා බසිනා ජල ධාරිතාව අඩු වි ඇති බවත්, කාසල්රි ජලාශයේද ජල මට්ටම ඉතා පහල බැස ඇති බව එම  ජලාශයේ ධිවරයන් කියා සිටියි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගය අසන්නයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර තේ කර්මාන්ත ශාලාවේ ඉවත ලන කසල තේ ජලයට මිශ්‍ර කර  දික්ඔය ඇළ මාර්ගයට මුදා හැරිම නිසා දික්ඔය ඇළේ ජලය කලු පැහැයෙන් ගලා බසින බව ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් පවසයි.

දික්ඔය ඇළ මාර්ගයේ ජලය වනරාජා වත්ත ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් දෛනික කටයුතු සදහා භාවිතා කරන අතර ජලය කලු පැහැයෙන් ගලා බැසිම හේතුවෙන් එම ජනතාවද දැඩි පිඩාවට පත් වි ඇත.

තේ කර්මාන්ත ශාලාවල ඉවතලන අපද්‍රව්‍යය සහ කසල තේ නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර සෘජුවම ඇළ මාර්ගවලට මුදා නොහරින ලෙස මධ්‍යම පරිසර අධිකාරි කාර්යයාලය ද තේ වතු සමාගම්වලට සහ වතු අධිකාරිවරුන්ට දැඩි කොන්දේසි පනවා ඇත.

දික්ඔය ඇළ මාර්ගයේ ජලයට කසල තේ මුදා හැරිම සම්බන්ධයෙන් ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය සහ හැටන් පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,032 Viewers
Main News