තේ දළු මිල පහත වැටේ.. වගාකරුවන් අසරණ වෙති..

August 17, 2019 at 2:06 am | lanka C news
තේ දළු මිල පහත වැටේ.. වගාකරුවන් අසරණ වෙති..

පහතරට අමු තේ දළු මිල රුපියල් විස්සකින් පමණ පහත වැටීමත් සමගම තේ වගාව ආශ්‍රිතව ගැටළු රැසක් මතුවීම නිසා තම තේ වතු පවත්වාගෙන යාමට නොහැකිව මොරවක්කොරළේ කුඩා තේ වතු හිමියෝ දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිති.

පහතරට අමු තේ දළු කිලෝවකට මීට මාස හයකට ඉහතදී රුපියල් අනුවත්,සීයත් අතර මිලකට තිබුණු අතර එය ජුනි සහ ජුලි මාසවල අමු තේ දළු කිලෝවටකට රුපියල් අසුවත්,අසුහතක මුදලක් ලැබීම නිසා තේ වතු පවත්වාගෙන යාමට නොහැකි බව කුඩා තේ වතු හිමියෝ පවසති.

මොරවක්කොරලේ තේ වතු හිමියන් තේ වගාවේ අමු තේ දළු නෙලීම ක්‍රමවේද දෙකක් මත පවත්වාගෙන යති.දෛනික කුලී ක්‍රමය හෙවත් අත්තම් ක්‍රමය සහ අමු තේ දළු නෙලන ප්‍රමාණය අනුව කිලෝ එකකට නියමිත මුදලක් ගෙවීම එම ක්‍රමවේද වේ.

මෙහිදී දෛනික කුළි ක්‍රමයට දළු නෙලීමට අත්තමක් සඳහා රුපියල් එක්දහස් පන්සීයක පමණ මුදලක්ද,අමු තේ දළු කිලෝවක් නෙලීම සඳහා රුපියල් තිහක මුදලක් අය කරති.

සාමාන්‍යයෙන් දෛනික කම්කරුවන් උදේ අටේ සිට පස්වරු තුන,තුනයි තිහට පමණ වැඩ අවසන් කිරීමට පුරුදු වී සිටිති.මෙම කාය සඳහා එක් කම්කරුවෙකුට රුපියල් එක්දහස් පන්සීයක මුදලක් ගෙවීමට සිදුවේ.කිලෝ ගන්නට දළු නෙලන කම්කරුවන් දිනකට අමු තේ දළු කිලෝ විසිපහත් – තිහත් අතර ප්‍රමාණයක් ඔවුන්ට එදිනම මුදල් ගෙවීම සිදුවේ.

මේ අතර තේ කප්පාදු කිරීම සඳහා රුපියල් දෙදහස් පන්සීයක මුදලක්ද,තේ වගාවේ වල් නෙලීම සඳහා දෛනික කුළිය එක්දහස් පන්සීයක මුදලක් ගෙවීමට සිදුවේ.මෙසේ දෛනික කුලී ගාස්තු ඉහළයාම නිසා තේ වගාවෙන් කිසිඳු ලාභයක් නොලබන බව කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙති.

සරුවට වැඩුණු තේ අක්කරයක ප්‍රමාණයෙන් යුත් ඉඩමකින් තේ දළු කිලෝ ග්‍රෑම් පන්සීයත් – හයසීයත් අතර ප්‍රමාණයක් නෙලාගන්නා අතර මේ වන විට කිලෝ තුන්සීයත් – හාරසීයත් අතර ප්‍රමාණයකට පහල වැටී ඇති බව ඔවුහු පවසති.තේ වගාව සඳහා යොදන පොහොරවල ගුණාත්මක බව අඩුවීම මීට හේතුවී ඇති බව පෙන්වා දෙති.

තේ වගාව ආශ්‍රිතව මතිවී ඇති මෙම ගැටළු හේතුවෙන් තම තේ ඉඩම් පවත්වාගෙන යාමේ අපහසුතාවයෙන් මිදීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරති.දෛනික කුළී කම්කරුවන් ගණන සීමාකර තමන්ට හැකි පරිද්දෙන් පවත්වාගෙන යාමට හැකිවන පරිදි ඉඩම් සීමා කරගැනීමේ ක්‍රමවේදය භාවිතා කරති.

මොරවක්කොරලයේ තේ ඉඩම් වැඩි ප්‍රමනයක් අවුරුදු විස්ස ඉක්මවා ඇති පැරණි තේ වගාව වන අතර කුඩා තේ වතු හිමියන් පැරණි තේ ඉවත් කර නැවත වගාවට යොමුවී ඇත.

තේ දළු මිල පහත වැටීමත් ශ්‍රමය හිඟකම නිසා පවතින ශ්‍රමය සඳහා සිදු කරන ගෙවීම් ඉහළයාම නිසා තේ ඉඩම් නඩත්තු කිරීමට ඉහල පිරිවැයක් දැරීමට සිදුවීම යන සාධක,බලපෑම් හේතුවෙන් තේ වගාව ලාභදායි ව්‍යාපාරයක් නොවන බැවින් තම තේ ඉඩම් භෞතික වටිනාකම පහළයාම නිසා තේ ඉඩම් විකිණීමටත් නොහැකි වී ඇති අතර ඇතැම් ගැනුම්කරුවන් නොවටිනා මිලගණන් වලට ඉඩම් මිලදී ගැනීමට සුදානමින් පසුවන බවද කුඩා තේ වතු හිමියෝ පවසති.

මොරවක් කෝරළයේ තේ වගාව මෙන්ම කුඩා තේ වතු හිමියා රැකගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බව කුඩා තේ වතු හිමියෝ පෙන්වාදෙති.

– ප්‍රියංක ගමගේ

3,569 Viewers
Main News