ත‍්‍රස්තවාදීන් ලවා මහින්ද විනාශ කිරීමේ උත්සාහයක්..

May 8, 2017 at 4:40 pm | lanka C news
ත‍්‍රස්තවාදීන් ලවා මහින්ද විනාශ කිරීමේ උත්සාහයක්..

ප්‍රභාකරන් වළපල්ලට යැවූ මහින්ද රාජපක්ෂට ආරක්ෂාවක් අනවශ්‍ය යැයි තර්ක කරන ආණ්ඩුව එදා යුද්ධයට සමච්චල් කළ හොරිකඩ ඇමැතිවරුන්ට ආරක්ෂාවක් ලබා දී ඇත්තේ ඔවුන් ඡන්දදායකයන්ගෙන් බේරාගැනීමටදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.

අද ආණ්ඩුවට ලොකුම හිසරදය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ ඔහු වටා එකතු වෙමින් තිබෙන මහා ජනසන්නිපාතය බව පැවසූ රණතුංග මහතා ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමෙන් පෙනී යන්නේ එම දේශපාලන ගමන හොඳින් හෝ නරකින් හෝ නතර කිරීමට ආණ්ඩුවට ඇති වුවමනාව බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ක්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැති ජනහමුවක් අමතමිනි. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි මාසේ 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණාම හැමෝම හිතුවා මහින්දගේ දේශපාලනය ඉවරයි කියලා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ගේ වගේම ඒ අයට උදව් කරපු විදෙස් රටවලත් දෙමළ ඩයස්පෝරාවෙත් හීනය වුණේ . හැබැයි මහින්ද පැරදුණාට මේ රටට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මහින්දව අතහරින්න කැමැති වුණේ නැහැ.

ඒ අය වන්දනාවේ යනවා වගේ තංගල්ලේ කාල්ටන් නිවසට ගිහින් මහින්ද මහත්තයාව අමාරුවෙන් කැමැති කරවගෙන මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළේ නායකත්වයට පත්කර ගත්තා. මහින්ද ඉවරයි කියලා හීන දකිමින් හිටපු යහපාලන බලවතුන්ගෙ ඇස් ඇරුණේ එතකොටයි. තමන්ගේ මෝඩ චූන් එක ඉවරයි කියලා දැනගත්ත මේ පරගැතියෝ ටික නින්දෙන් ඇහැරලා මහින්දට ආයෙමත් වතාවක් ගහන්න ගත්තා.

එක පැත්තකින් මහින්ද මහත්තයාටත් ඔහුගේ බිරිඳ, පුතුන්, සහෝදරයන් ඇතුළු හිතවතුන්ට නඩු පිට නඩු දාලා බය කරන්න හදන අතරම අනෙක් පැත්තෙන් ඉතාමත් පහත් විදියට ‍අහස පොළව නුහුලන චෝදනා කරමින් ජනතා ප්‍රසාදය නැති කරන්න උත්සාහ කළා. මේ සියල්ල අසාර්ථක වුණාම තමයි එතුමාගේ ආරක්ෂාව ඉවත් කරලා පළි ගන්න වැඩපිළිවෙළ ආරම්භ කළේ. මේක ලෝකයේ කිසිදු රටක සිදුනොවුණු පහත් අන්දමේ පළිගැනීමක්.

මැයි 01 වැනි දා ගෝල්ෆේස් පිට්ටනිය උතුරන්න සෙනඟ ඇවිත් මහින්ද මහත්තයාව වටකර ගන්නකොට බයෙන් කකුල් වෙව්ලන්න ගත්ත පාලකයෝ එතුමාගේ ආරක්ෂක භටයන් 42ක් අයින් කළා. දින හයක් ඇතුළත තවත් පනහක් අයින් කළා. මේ විදියට ආරක්ෂකයන් ඉවත් කරමින් ත්‍රස්තවාදීන්ට නිරාවරණය කරමින් යන්නේ අපේ ජනතාවට මරබියෙන් තොර රටක් හිමි කළ නායකයා බව අපි අමතක කරන්න හොඳ නැහැ.

අපේ රට පමණක් නොවෙයි මුළු ලෝකයම ප්‍රභාකරන්ට බය වෙලා හිටපු කාලයක් තිබුණා. ලෝකයේ දියුණු රටවල් පවා එදා කිව්වේ ප්‍රභාකරන් යුද වීරයෙක්, ඔහුව පරාජය කරන්න බැහැ කියලයි. අමෙරිකාව ප්‍රභාකරන්ගේ මිනීමරු හමුදාව ලොව අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය ලෙස වර්ගීකරණය කළා. අපේ රටේ ජනාධිපතිවරුන් සිවුදෙනෙක්ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා.

ඒ වගේ ත්‍රස්තවාදී සංවිධානයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ වීරෝදාර රණවිරුවන් 2009 මැයි මාසේ 18 වැනි දා පරාජයට පත් කළේ. අමෙරිකාව සහ යුරෝපයේ ප්‍රභල රටවල තර්ජන ගර්ජන හමුවේ දණ නොනමමින් රට තුළින් එල්ල වූ පීඩනයට මුහුණ දෙමින් තමයි මහින්ද මහත්තයා මේ ජයග්‍රහණය රටට ලබා දුන්නේ. අද ආණ්ඩුව මේ වගේ කෙණෙහිලිකම් කරමින් සිටින්නේ එවැනි නායකයකුටයි.

මහින්ද මහත්තයා ජනාධිපති ධූරයෙන් සමුගත්තා කියලා කොටි තර්ජන නැති වෙලා නැහැ. අදටත් කොටි ත්‍රස්තවාදීන්ගේ අංක එකේ තර්ජනය එල්ල වෙලා තියෙන්නේ මහින්ද මහත්තයාටයි. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. එහෙනම් ආණ්ඩුව ඇයි මේ විදියට මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩු කරමින් ඔහුව ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් කරන්න උත්සාහ කරමින් යන්නේ?

ආණ්ඩුවට අද ඕනෑ වෙලා තියෙන්නේ දේශපාලනමය වශයෙන් පරාජය කරන්න බැරි මේ නායකයා ත්‍රස්තවාදින් ලවා හෝ විනාශ කරවීමටයි. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය අමතක කළත් ඔහු රටට කරපු සේවාව අමතක කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ කියන නමටත් බයයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය නිමා වුණොත් තමයි මේ ආණ්ඩුවට නින්ද යන්නේ.

අන්න ඒ වැඩපිළිවෙළ තමයි මේ ආරක්ෂාව අඩු කිරීම හරහා ක්‍රියාත්මක වන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ නිකම් නිකම් නායකයෙක් නෙමෙයි, මේ රටේ ඵෙතිහාසික දේශපාලන සංකේතයක්. ඒ සංකේතය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ආණ්ඩුවේ ආරක්ෂකයන් නැතත් මේ රටේ ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගණනින් මහින්ද මහත්තයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත් ආණ්ඩුව මතක තබා ගත යුතුයි.

මම දැක්කා රුවන් විජයවර්ධන මහත්තයා කියලා තියෙනවා මහින්දගේ ආරක්ෂාව අඩු කළේ බුද්ධි අංශ වාර්තා අනුවයි කියලා. මම එතුමාගෙන් අහන්න කැමැතියි එතකොට ප්‍රභාකරන් වළපල්ලට යවපු මහින්දට අනවශ්‍ය ආරක්ෂාවක් එදා යුද්ධයට සමච්චල් කරපු ආණ්ඩුවේ හොරිකඩ ඇමැතිවරුන්ට දීලා තියෙන්නේ ඡන්දදායකයන්ගෙන් බේරෙන්න ද කියලා. මේ වගේ ඇමැතිවරුන් තමයි අද රට පාලනය කරන්නේ.

මම කතා කරන්නත් කැමැති නැති වුණත් සරත් ෆොන්සේකා ඇමැතිවරයා ගැනත් යමක් කියන්න ඕනේ. එයා කියනවා මහින්ද ඔච්චරටම බය නම් ගෙදරට වෙලා ඉන්නලු. ඒක තමයි ඒ අයගේ කැමැත්ත. මහින්ද ගෙදර ඉන්නවා නම් මේ ‍ආණ්ඩුවේ ඉන්න බහුතරයක් කැමැතියි. මොකද ඒ අයට ලොකුම හිසරදය තමයි මහින්ද සහ ඔහු වටා ඉන්න ජන ගංගාව. ඡන්ද පන්දාහක් ගන්න බැරි ෆොන්සේකා කොහොමද මහින්දගේ දේශපාලන ගමන නතර කරන්නේ?

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙච්ච අපිව ගෙනිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ගැට ගහන එකට විරුද්ධව තමයි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපි එකතු වෙලා අපේ දේශපාලන ගමන ආරම්භ කළේ.. මගේ තාත්තට පිහියෙන් ඇනපු, මගේ ගේ ගිනි තියපු එක්සත් ජාතික පක්ෂය එක්ක රෙද්දක් ඇඳගෙන නම් එක ආණ්ඩුවක ඉන්න මට පුළුවන්කමක් නැහැ. ඒ වගේ හිරිකිත වැඩක් කරන්න බැරිකම නිසා අපි විපක්ෂයේ ඉඳගන්න කොට එක්සත් ජාතික පක්ෂයේ කටු සූප්පන්න ගිය අපේ සමහරුන්ට අද උදා වෙලා තියෙන්නේ ශෝචනීය ඉරණමක්.

මේ තියෙන්නේ සහජීවන ආණ්ඩුවක් කියලා ජනාධිපතිවරයා උදම් අනමින් යනකොට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් අපේ අයට කණට ගහලා එළවන්න හදනවා. නොයෙකුත් විදියට සමච්චල් කරනවා. හැබැයි අපේ අයත් විලිලැජ්ජාවක් නැතුව එ. ජා. ප නැට්ටෙම එල්ලිලා ඉන්නවා. ඒ අය බයයි තනතුරු වරප්‍රසාද නැති වෙයි කියලා. එ. ජා. පයේ කටු සූප්පලා ගම්වලට ගිහින් මුහුණ දෙන්න බැරි වුණත් එල්ලිලා ඉන්න වෙලා තියෙන්නේ ඒකයි.

දැන් එක්සත් ජාතික පක්ෂයේ සමහරුන්ට කොච්චර හයියක් ඇවිල්ලද කියනවා නම් අපේ ජ්‍යෙෂ්ඨතම නායකයන්ටත් ප්‍රසිද්ධියේ අපහාස කරනවා. මම දැක්කා අපේ ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාට රාජිත සේනාරත්න ඉතාමත් නරක ආකාරයට බැන වැදුණා කියලා. ජෝන් සෙනෙවිරත්න කියන්නේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති. එතුමට බැන වැදීම රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි මුළු රටේම නිදහස් පාක්ෂිකයන්ට කරපු අපහාසයක් විදියටයි අපි දකින්නේ.

එක පැත්තකින් ඇමැතිවරුන් තීන්දු කරන්න ඕනේ අපේ ගෙවල් ගිනි තියපු, අපේ පාක්ෂිකයන් මරපු මිනීමරුවන්ගෙන් බැනුම් අහගෙන තවදුරටත් ඇමැතිකමට කෑදරකමේ එජාප පිළිකන්නේ ලැගගෙන ඉන්නවද කියලා. අනෙක් පැත්තෙන් පක්ෂ නායකයා තීන්දු කරන්න ඕනේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට මේ වගේ නින්දා සහගත ඉරණමක් තවදුරටත් උදාකරනවාද කියලා. දේශපාලනඥයකු වුණාම ඇමැතිකම් නැතත් කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ.

කොන්ද පණ නැති අයට වෙන්නේ මොකද කියන එක 2015 මහ මැතිවරණයේ දී රටටම පැහැදිලි වුණා. සමහර ඡන්ද මැෂින්වලට පාර්ලිමේන්තුවට එන්නවත් මනාප ගන්න බැරිව ජනාධිපතිවරයාගේ පිහිටෙන් ජාතික ලයිස්තුවට රිංග ගන්න සිද්ධ වුණා. සමහරු මහින්ද මහත්තයාගේ නම විකුණලා පාර්ලිමේන්තු ඇවිත් පස්සේ පීල්ල මාරු කරලා ඇමැතිකම් ගත්තා. මේ රටේ ජනතාව මේ සියලු කාරණ ගැන අවදියෙන් බලා ඉන්න බව අපි අමතක කරන්න නරකයි.

අපේ අරමුණ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හැදීමයි. අපේ ගමන තර්ජන, ගර්ජනවලින් නතර කරන්න බැහැ. අපි දැන් මේ ගමනේ අවසාන ජය ටැඹ පෙනෙන තෙක් මානයට ඇවිත් ඉවරයි. අපිට ජය්‍රගහණය කරන්න බැරි නම් ආණ්ඩුව මේ තරම් වියරුවෙන් අපිව මර්දනය කරන්න දඟලන්නේ නැහැ. කකුළුවා නටන්නේ හැලිය රත්වෙනකම් විතරයි. දැන් කකුළුවා නටපු කාලය අවසන් බව අපි කාටත් මතක් කරන්න ඕනේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

9 views

3 Comments to “ත‍්‍රස්තවාදීන් ලවා මහින්ද විනාශ කිරීමේ උත්සාහයක්..”

  1. leel says:

    ටොයියන්ට අමතක උන ඇත්ත කතාව……

    ඕන ගොනෙකුට පුලුවන් යුද්ද කරන්න…….ලක්ස්මන් කිරිඇල්ල
    අලිමන්කඩ යනව කියල පාමන්කඩ යනව….
    කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව……රවි කරුනානායක

    මේ වගෙ උන්ටනෙ ටොයියො චන්දෙ දුන්නෙ….එකෙක් උසස් අද්යාපන ඇමති, එකෙක් මුදල් ඇමති……

  2. Channa says:

    ජනතාව විසින් ජනවාරි 8 වෙනිදා කතිරබලයෙන් විනාස කලාට පසු තව මෙයාගෙ මොනවා විනාස කරන්නද?

Main News