දඹුළු බේගලය අතේ පත්තු.. ආණ්ඩුව කියන ආදායම ගන්න ලංකාවට එන සංචාරකයන් ගානත් මදි..

July 13, 2017 at 10:25 pm | lanka C news
දඹුළු බේගලය අතේ පත්තු.. ආණ්ඩුව කියන ආදායම ගන්න ලංකාවට එන සංචාරකයන් ගානත් මදි..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව අද දඹුළු විහාරය පිළිබඳ බොරු වපුරමින් සමස්ත ජාතිය නොමග යවමින් ඉන්නවා. ස්වාමින් වහන්සේලා දඹුළු විහාරයේ ඓතිහාසික උරුමය විනාශ වෙන්න ඉඩ හැරලා තිබෙනවා. ඇමතිතුමා උත්සාහ කරන්නේ මේ උරුමය රැක ගන්නයි කියලා වැරදි මතයක් රට තුල හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

දඹුළු ලෙන් විහාර සොයා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. නැතිනම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. පසුගිය වසර 35 පුරා දඹුළු ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු භාරව සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි. දැනට ඒ ආයතන දෙකම තියෙන්නේ අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමන් යටතේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි කියන මේ දෙපාර්ශවය අතර තිබුන ගැටුම නිසා තමයි මේ පන්සලට ලොකුම හානිය සිදු වුණේ.

මේ අයගේ සංරක්ෂණ ක්‍රියාවලියේදී වැරදි ආලේප යොදා ගැනීමෙන් පිලිම 4ක් සුදු වුණා. මේ අය ආලේප වර්ග පරීක්ෂාවට යොදාගෙන තියෙන්නෙත් මේ වැදගත් ඓතිහාසික බිතුසිතුවම් සහ පිළිම වහන්සේලා. ඒ වගේම ලෙන් වලට යන මාර්ගයේ පියස්සට තාර යොදා තිබීමෙන් ඒවා උණු වී වැගිරෙන්න ගත්තා. ඒ නිසා 1996 දී සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල පන්සලෙන් ඉවත් කළා.

පුරා විද්‍යා උපදෙස් මත ලෙන් තුල හඳුන් කූරු පත්තු කිරීම නැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් විධියට කුඹල් ගෙවල් චිත්‍ර මත බැන්ඳා. මෙහි ඓතිහාසික වටිනාකම විනාශ කරමින් එහි පොළවට ටයිල් අල්ලන්නට කටයුතු කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. ජනේල වැහුව්වා. ඒ හේතුවෙන් ගලේ රස්නය පිට නොවන නිසා බදාම ගැල වී යන්න පටන් ගත්තා. මේ තොරතුරු මට ලබා දෙන්නට කටයුතු කලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ.

ලෙන් විහාරයේ චිත්‍ර සංරක්ෂණය ගැන පාරම්පරික දැනුමක් තිබෙන ගලේවල නිලගල චිත්‍ර ශිල්පි පරපුර ඉන්නවා. කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් චිත්‍ර සංරක්ෂණය සන්නසකින් භාර දුන්නේ මේ පරපුරට. අවාසනාවට දඹුලු ලෙන් විහාරයේ සිතුවම් පිළිබදවම විශේෂඥයින් වන නිලගල පරපුරේ චිත්‍ර ශිල්පීන් චිත්‍ර සංරක්ෂණයට සම්බන්ධ කර ගන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැමති නෑ. ඒ වෙනුවට මේ චිත්‍ර පිළිබද මෙලෝ හසරක් නොදත් ඉතාලියෙන් ප්‍රංශයෙන් උපදේශකයින් ගෙන්වීමට හදනවා.

ආණ්ඩුව කියනවා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් දවසකට ලක්ෂ 80ක ආදායමක් ලබනවාලු. රු 1,500 ටිකට් එකක් විකුණලා දවසකට ලක්ෂ 80ක් හොයන්න දවසකට සංචාරකයින් 5,333ක් එන්න ඕනෑ. ඒ කියන්නේ වසරකට ලක්ෂ 19.5ක් සංචාරකයින් එන්න ඕනෑ දඹුලු ලෙන් විහාරය නරඹන්න. නමුත් 2015 දී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් ගණන ලක්ෂ 18යි. මෙහෙම අතේ පත්තු වෙන බොරු ආණ්ඩුවේ ඇමතිවරුන් කියන්නේ සඟ රුවන පිළිබඳ ගෞරවය විනාශ කරන්න. පන්සලෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් අරන් තවම මාස 4යි. මීට කලින් ටිකට් විකුණුවේ ආණ්ඩුවෙන්. එහෙම නම් දඹුල්ලේ ටිකට් විකුණලා හොයපු කෝටි ප්‍රකෝටි ධනයට මොකද ඇයි ඒ ධණයෙන් මේ චිත්‍ර සංරක්ෂණයට කටයුතු නොකලේ කියන එක ආණ්ඩුව රටට කියන්න ඕනෑ.

අස්ගිරි සංඝ සභාව කළ සිංහ නාදයෙන් ආණ්ඩුවේ රට බෙදන ව්‍යවස්ථා උගුල නැත්තටම නැති වුණා. ඒ නිසා ආණ්ඩුවට කේන්තියි. මේ නිසා අස්ගිරි පාර්ශවයෙන් පලි ගන්න තමයි දඹුළු විහාරයට හිරිහැර කරන්නේ. ඉතිහාසය පුරාම පැරණි විහාර සංරක්ෂණය කලේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි නම් මෙ චිත්‍ර නිසි ලෙස සංරක්ෂණය වෙලා නැත්නම් හානියක් වෙලා ඇත්නම් ඒකට වගකියන්න ඕනෑ ආණ්ඩුවම මිස විහාරාධිපති හිමියන් හෝ මහා සංඝරත්නය නොවන බව අපි ඉතා වගකීමෙන් කියනවා .

ආණ්ඩුව බංකොලොත් නිසා තමයි අද පිං කැටයට අත තබා තිබෙන්නේ. මේක අළුත් දෙයක් නොවේ. අනුරාධපුර යුගයේ සිටියා මහනාග කියලා රජ කෙනෙක්. එයත් භාණ්ඩාගාරය හිස් වෙනකොට පිං කැට කඩලා පන්සලේ වස්තුව කොල්ල කෑවා. ඒ නිසා මහවංශය කියන්නේ මහනාග චෝරනාග ලෙස ඉතිහාසයට එක් වුණා කියලයි. අතිගරු ජනපතිතුමනි, මේ පිං කැට මංකොල්ලය නැවැත්වීමට ඔබතුමා මැදිහත් නොවුණොත් මහනාග චෝරනාග වුණා වගේ ඔබතුමා ඉතිහාසයට එක් වන්නේ සිරිසේන චෝරසේන වෙලායි කියලා අපි ජනපතිතුමන්ට ගෞරවයෙන් සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

178 views

12 Comments to “දඹුළු බේගලය අතේ පත්තු.. ආණ්ඩුව කියන ආදායම ගන්න ලංකාවට එන සංචාරකයන් ගානත් මදි..”

  1. Asoka says:

    දවසකට බස් 200ක් විතර විදේශිකයන් පුරවාගෙන එනවා. එක බස් එකක 50ක් විතර ඉන්නවා. ලංකාවට එන විදේශිකයන්ගෙන් 98%ක් විතර අය දඹුලු විහාරය. දළදා මාලිගාව සහ සීගිරිය නරභනවා. මහා සිවුරු කාරයා කිහිප දෙනෙක් එක්කම හැම මාසෙකටම බැංකොක් ගිහින් සැප ගන්නවා. මුන් තමයි නිර්මල බුදුදහම කන්නේ

Main News