දයා නවසීලන්තයෙන් ආදර්ශයක් ගනී..

June 25, 2017 at 2:16 am | lanka C news
දයා නවසීලන්තයෙන් ආදර්ශයක් ගනී..

නවසීලන්තයේ ආර්ථික සංවර්ධනයට වැඩිම දායකත්වයක් සපයන එරට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය අනුව යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ද තම අමාත්‍යංශයෙන් වැඩිම දායකත්වයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘ඉන්කෝ’ ප්‍රදර්ශනයේ අද පැවති ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ දිනය අමතමින් ඔහු ඒ බව කීය.

ලංකා ඉංජිනේරු ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම තෙදින ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශන කුටි 250ක් පමණ ක්‍රියාත්මක වේ.

එම අවස්ථාවේදී ගමගේ මහතා වැඩිදුරටත් පැවසූයේ, ශ්‍රී ලංකාවේ අගය එකතු කළ නිෂ්පාදන ඉහළ දැමීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පිහිටවූ බවයි.

ජාත්‍යන්තර ප්‍රදර්ශන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව පැවසූ ඔහු, විදෙස් වෙළෙඳපොල සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට එවැනි අවස්ථා උපකාරී වන බව පෙන්වා දුන්නේය.

රජයේ සහායෙන් විදේශ චාරිකා සිදු කරන වෙළෙඳ නියෝජිත පිරිස් එහිළා මහෝපකාරී වන බව ද හෙතෙම කීය.

ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් සමඟ ඇති කර ගන්නා පුළුල් වෙළෙඳ ගිවිසුම් මෙන්ම, මිලියන 700ක් වන යුරෝපා වෙළෙඳපොලට පිවිසීම සඳහා ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමෙන් ඔවුන්ගේ නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොලක් සහතික වන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

නුදුරු අනාගතයේදීම ඉන්කෝ ප්‍රදර්ශනය දකුණු ආසියානු කලාපයේ පාරිභෝගිකයා කෙරෙහි අවධානය යොමු කරන හොඳම ප්‍රදර්ශනය බවට පත් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

– ජෝර්ජ් පෙරේරා

50 views
Main News