දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් ගෙනවිත් හැකිනම් සම්මත කර ගන්න..

July 21, 2017 at 3:30 am | lanka C news
දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් ගෙනවිත් හැකිනම් සම්මත කර ගන්න..

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉවත් වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගු වන බැවින් දැන් හැකිනම් ආණ්ඩුවක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන විත් එය සම්මත කර ගන්නා ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අභියෝගකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව කථානායකතුමන් වෙත නිල වශයෙන් ලිඛිතව දන්වා සිටිනු ලැබුවා. ඔබ දන්නවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස හැඳින්වූයේ මන්ත්‍රීවරුන් 225න්ම සමන්විත මුළුමහත් පාර්ලිමේන්තුවයි. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිසා ඉබේම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බවට පත් වූවා. නමුත් අපි මුල සිටම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට හෝ එමගින් පත් කළ අනුකමිටු 06ටත් සහභාගී වීමෙන් වැළකී සිටියා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මූලිකත්වය ගෙන මේ සිදු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ක්‍රියාවලිය රටට අහිතකර එකක් බවට ආරම්භයේ සිටම අපට පූර්ව නිගමනයක් තිබුණා. එසේ පූර්ව නිගමනයකට අප පැමිණියේ, 2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලියේත්, මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් – හුසෙන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවලත්, යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් ලබා දීමට ඉදිරිපත් කළ කොන්දේසිවලත් ශ්‍රි ලංකාව කඩිනමින් ෆෙඩරල් හෙවත් සන්ධිය ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අවධාරණය කර තිබීම නිසායි.

ඉහත කී ජාත්‍යන්තර බලවතුන්ගේ බලපෑමට නතුව තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ආරම්භ කළේ. පාර්ලිමේන්තුවට පිටින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ නමින් ඔවුන් හඳුන්වා ගන්න කණ්ඩායමක් රැස් වෙලා මේ නව ව්‍යවස්ථා කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවට රැගෙන ඒමේ න්‍යාය පත්‍රයක් තමයි මේ අයට තිබුණේ. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අපේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ මත දැක්වීම් හේතු කොට ගෙන ඒ ප්‍රයත්නය මේ පිරිසට අත හරින්න සිදු වුණා. අවසානයේදී මුළුමහත් පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වුණා.

‘මේක ජාත්‍යන්තර බලපෑමට හැදෙන ව්‍යවස්ථාවක් බව පැහැදිලියි’

මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්න හදන්නේ ඉහත කී ජාත්‍යන්තර බලපෑම්වලට නතුවයි. නමුත් නව ව්‍යවස්ථාවක් හැදිය යුත්තේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු වන ආකාරයටයි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්  මහත්තයා මොකද කළේ? ඔහු කළේ තම සංවිධානය පවරපු වැඩ ටික ශ්‍රී ලංකා අාණ්ඩුව කාල සටහනට අනුව කරගෙන යනවාද, කියා නිරීක්‍ෂණය කිරීමයි. කාලසටහනට අනුව වැඩ ටික කෙරිලා නම් ඔහු කියනවා ‘හොඳයි’ කියලා. නැතිනම් කියනවා ‘සෑහීමකට පත් විය නොහැකියි’ කියලා. දැන් මේ ආණ්ඩුව මේ රට ජාත්‍යන්තර අධීක්‍ෂණයට ලක් වූ රාජ්‍යයක් බව පත් කරලා ඉවරයි.

‘මෙහෙයුම් කමිටුවටත් කොලේ වහලා’

මුළුමහත් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළත් මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය පාරදෘශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරන අගමැතිවරයා පසුගියදා මේ මෙහෙයුම් කමිටුවට පිටතින් හදාගත්තු වාර්තාවක් ඉදිරිපත් කරනවා, මෙහෙයුම් කමිටුවේ වාර්තාව විදියට. මේ වාර්තාව පිළිබඳව මෙහෙයුම් කමිටු සාමාජිකයන් පවා දන්නේ නැහැ. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව’ ලෙස පාර්ලිමේන්තුවට මේ පිටතින් ගෙන ආ වාර්තාව ඉදිරිපත් කිරීමටයි අගමැතිවරයා සූදානම් වූයේ. ඒ අනුව පැහැදිලිව පෙනෙනවා, බාහිර කල්ලි කිහිපයක් විසින් තමයි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය මෙහෙයවන්නේ කියා. අගමැතිවරයාත් මේ ක්‍රියාවලියේ අතරමැද ප්‍රධානියෙක් පමණයි. මේ අය හදන්නේ පාර්ලිමේන්තුව හරහා තමන්ට උවමනා බෙදුම්වාදී ව්‍යවස්ථාවක් අටවන්නයි. එවැනි කරුණු බොහෝමයක් ද අපට මේ තීරණය ගැනීමේදී වැදගත් වුණා.

‘වැදගත්ම කාරණය’

ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් මේ ආණ්ඩුවට සංඝ විධානයක් නිකුත් කළා. ඒ විධානය තමයි ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ සංශෝධන එපාෟ’ කියන එක. මේක අනුනාහිමියන් වෙනත් විදියකින් පැවසුවා ‘නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි කියා. ‘නොදන්නා යකා’ මොන වගේද කියා අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙන හොර වාර්තාව කියැවූ විට පැහැදිලි වෙනවා. ඒ වාර්තාවෙන් අනාවරණය වෙන්නේ නව ව්‍යවස්ථාවෙන් සන්ධීය රටක් හැදෙන බවයි.

‘ඓතිහාසික සම්ප්‍රදාය නොතේරෙන ආණ්ඩුවක්’

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඒකාබද්ධව ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරලා තිබියදී මෙසේ නව ව්‍යවස්ථාවක් හැදීමේ කටයුත්ත ඉදිරියට ගෙන යාම උන්වහන්සේලාගේ මතයට රැහැනිව යාමක්. මේ රටේ අතීතයේ පටන් මහසඟරුවන සිටියේ රජුට ඉහළින්. රජු එනවිට මහසඟරුවන නැගිට්ටෙ නැහැ. මහසඟරුවන වඩින විට රජු නැගිට්ටා. රජුට මහසඟරුවන වැන්දේ නැහැ. රජු මහසඟරුවනට වැන්දා. රජු මහසඟරුවනේ අනුශාසනා බලාපොරොත්තු වුණා රාජ්‍ය පාලනයේදී  මහසඟරුවනේ උපදෙස් නොතකා කටයුතු කළ රාජ්‍ය පාලනයන් ඉතා කෙටි කලකදී බිඳ වැටුණා. ඒ නිසා මේ රටේ ‘ඓතිහාසික සම්ප්‍රදාය’ කියා එකක් තිබෙන බව මේ ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ සිදුවන ක්‍රියාදාමය විනිවිද දැකලා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන එපා කියන කොට, එවැනි ව්‍යවස්ථාවක් හදන ක්‍රියාදාමයේ කිසිම තැනක නියෝජිතයන් වෙලා ඉන්න අපට බැහැ. එවැනි ව්‍යවස්ථාවක් පිළියෙල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් හැටියට අපට ඉන්න බැහැ. ඒ නිසා තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුළ ගැඔුරින් සාකච්ඡා කරලා, ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු නායකයන් සමඟ ද ගැඹුරින් සාකච්ඡා කරලා ඔවුන්ගේ ද එකඟතාව ඇතිව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකත්වයෙන්, නියෝජිතත්වයෙන් ඉවත් වීමට අප 05 දෙනා තීරණය කළේ.

දැන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි’

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්ම සමන්විත මුළුමහත් පාර්ලිමේන්තුවම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස හැඳින්වූයේ. නමුත් දැන් තිබෙනවා ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 05 දෙනෙකු කතානායකවරයාට ලිඛිතව දැනුම් දී ඉන් ඉවත් වූ පසු එයට තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියා කියන්න බැහැ. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වූ පසු එයට ඒ නම කියන්න බැහැ. එය සම්මතයට මෙන්ම නීතියටත් පටහැනියි. ඒ නිසා අපි කථානායකතුමාගෙන් ලිපියෙන් ඉල්ලූ ආකාරයට අදත් ඉල්ලනවා, ‘මුළු පාර්ලිමේන්තුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස නම් කළේ. මුළු පාර්ලිමේන්තුවම කියපුවාම එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම අයත්. දැන් ඒ 225න් 5ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා කියන එක තවදුරටත් වලංගු නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවට දැන්විය යුතුයි මේ අලුත් තත්වය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයෙන් ඉවත් වීම නිසා තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එසේ හැඳින්විය නොහැකියි. පිළිගත නොහැකියි, කියා ප්‍රකාශක කරන ලෙසට’ ඒක තමයි සම්ප්‍රදාය, නීතිමය තත්වය අතින් බැලුවත් සත්‍ය තත්වය.

අගමැතිතුමාගේ නීතිවිරෝධි උපදෙස්වලට අවනත නොවී අඩුම තරමින් මේ කාරණයේදීවත් සාධාරණ තීරණය ගන්න’ කියලත් අපි කතානායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ‘දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ කියලා එකක් නැහැ. ඒ නිසා හදනවා නම් නව ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් හදන්න. එදා චන්ද්‍රිකා පැකේජය රැගෙන ආවා වගේ ආණ්ඩුවෙන් හදපු ව්‍යවස්ථාවක්  පාර්ලිමේන්තුවට ගෙන එන්න’ කියලා.

හැබැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ විධානය නොතකා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක් රැගෙන ආවොත් ඒක සම්මත වීමට මේ රටේ මහා සංඝරත්නය, ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ලක්‍ෂ ගණනින් ඒ පාපතර ක්‍රියාව වැළැක්වීම සඳහා පාරට බහින්න ජනතාව සුදානම්. අපි ඊට නායකත්වය දීමට සූදානම්, කියා අපි ආණ්ඩුවට මේ මොහොතේ අවධාරණය කර සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

9,801 Viewers

9 Comments to “දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් ගෙනවිත් හැකිනම් සම්මත කර ගන්න..”

  1. ඇත්ත says:

    1948 ට පෙර එංගලන්ත කිරීටයේ සම්මත කළ නීති ලංකාවට හදුන්වාදුන්නේ ගාලු මුවදොර පිහිටි කලු සුද්දන්ගේ පාර්ලිමේන්තුවයි. වර්තමානයේ එංගලන්ත කිරීටයේ සම්මත කරන නීති ලංකාවට හදුන්වාදුන්නේ ජයවර්ධනපුර පිහිටි දේශප්‍රේමී වෙස් බැද ගත්තවුන් ඉන්නා පාර්ලිමේන්තුවයි. එංගලන්තයේ දැනට වසරකට පෙර සිදු කර ඇති නීති සංශෝධනයක් 2017 අංක 08 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත ලෙස පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙන ලදී. පාර්ලිමේන්තුව යනු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් යන එංගලන්ත කිරීටයේ ලංකාවේ නියෝජන ආයතන 2 හදන නීති ගෙඩිය පිටින් සම්මත කරදෙන ගොබ්බයින් සිටින තැනයි. ලංකාවෙ වර්තමානයේද එංගලන්ත කිරීටයේ යටත් විජිතයක් මිස නිදහස් නිවහල් රටක් නොවේ.

  2. Upul says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මුහුණ දී තිබෙන ව්‍යවස්ථා අර්බුදය ගැන කලු සුද්දන්ට උත්තර නෑ….කථා නෑ.අනේ පව්.
    ආණ්ඩුවේ සහ විපක්ෂයේ දිය යටින් ගේම් ගහන වුන් අනාථයි.

  3. Nuwan says:

    ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ව්‍යහය වෙනස් වීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හොල්මන්. නීතිය අවභාවිතා කරමින් නීති විරෝධීව ව්‍යවස්ථාව සම්මත කිරීමට යාමෙන් රට අවුලක.

  4. Chandra says:

    සංඝරත්නය සහ රජය අතර සම්ප්‍රදාය කැඩීමේ නියමුවන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි. අද රට පාලනය කරන්නේ මෛත්‍රී නොවේ. රටේ නීති හදන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි.පාර්ලිමේන්තුවේ ඉන්නා හොර නඩය කරන්නේ කිසිම වග විභාගයක් නැතිව අත ඉස්සීමයි.

  5. Gamini says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය වෙනස්වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය යන සුජාත නම තවදුරටත් වලංගු නොවේ.එය අවභාවිතා කිරීමට රනිල් මෛත්‍රී සැරසේ.

  6. Raawana says:

    Anunge chandawalin paarlimenthu ringala kata metha dodawanawa.puluwan nam thamnge pakshen emu balanna.

    • රන්නේ පොනිල් මල්ලි says:

      කොහෙද යන්නෙ මල්ලෙ පොල් මීහරකෙක් .

  7. Open mind says:

    ආණ්ඩුක්රම වියවස්ථා විශාරදයන් මෙසේ ඉවත් වීම කෙසේ ඉවසන්න ද…….?

Main News