දැන් තත්වය අනුව මෛත‍්‍රීට යලි ජනාධිපති තියා ප්‍රාදේශීය සභාවකටවත් පත් වෙන්න බෑ..

May 9, 2018 at 2:10 pm | lanka C news
දැන් තත්වය අනුව මෛත‍්‍රීට යලි ජනාධිපති තියා ප්‍රාදේශීය සභාවකටවත් පත් වෙන්න බෑ..

විධායක ජනාධිපති ධූරයේ බලතල තිබියදී අගමැතිට ඕනෑ ආකාරයට විනාශ කරන්නට ඉඩදුන් වත්මන් ජනාධිපතිවරයාට අමු‍තුවෙන් විශ්‍රාම යන්නට දෙයක් නැති බවත් එතුමා සැබැවින්ම විශ්‍රාම ගියේ 2015 ජනවාරි 09 වැනිදාම බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අද වන විට රටේ ජනමතයෙන් සියයට 60ක් නියෝජනය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ බලවේගයෙන් බව පැවසූ රණතුංග මහතා කවුරු කුමන කයිවරු ගැසුවත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේත් එම බලවේගය තුළින්ම බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ වෘත්තිකයන් පිරිසක්  සමඟ මිනුවන්ගොඩ උඩුගම්පොළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ රටේ පැවැති මැයි රැලි අතරින් ‍‍‍අතිසාර්ථකවූත් දැවන්තවූත් මැයි රැලි පැවැත්වීමේ ගෞරවය මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙලා ඉවරයි. ගෙවුණු අවුරුදු තුනේ දී අපි පවත්වන ලද කිරුළපන, ගෝල්ෆේස් මෙන්ම මෙවර ගාල්ල මැයි රැලිය ද ඊට සාක්ෂි දරනවා.

අපිට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලෙදි කියලා. ඒ රැලියට ආවා වගේ දහස් ගුණයක ජනතාවක් මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට පැමිණ සිටියා. ඒකාබද්ධ විපක්ෂය මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගයක් බවට පත්වෙලා ඉවරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ලෝකයටම පෙන්නු‍වා ආණ්ඩුවට වඩා ජනතාවක් අපිට ඉන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව රට පුරා පවත්වන ලද සෑම ජනරැලියකදීම අපි අපේ ශක්තිය පෙන්නුවා. ඒ අනුව බලන කොට අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්.

ඒකාබද්ධයේ ශක්තිය කොච්චරද කියනවා නම් ජනාධිපතිගේ පක්ෂය මඩකලපුවට තල්ලු කරලා අගමැතිගේ පක්ෂය ගෘහස්ථ ක්‍රීඩාංගණයකට කොටු කරන්න තරම් හැකියාවක් අපට ලැබිලා තියෙනවා. දැන් ආණ්ඩුව මැයි රැලියක්වත් තියාගන්න බැරි තරම් දුර්වල තත්ත්වයකට වැටිලා ඉවරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මට මතක ඇති කාලයේ පටන් මම තාත්තත් එක්ක මැයි රැලිවලට සහභාගී වෙලා තියෙනවා. හැබැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහභාගීත්වය නැති මැයි රැලියක් ‍පැවැත්වුණේ.

පක්ෂයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට පින්සිද්ධ වෙන්න දැන් පක්ෂයට වෘත්තීය සමිතියක්වත් නැහැ. එහෙම තියෙන කොටත් දෙන්නම කම්කරුවන් නැති කම්කරු රැලියක වේදිකාවක නැගලා මහා පුරසාරම් කියනවා ඇහෙන කොට අපිට ඇති වෙන්නේ විශාල කණගාටුවක්.

පක්ෂය විතරක් නෙමෙයි මේ අය රටත් විනාශ කළා. මේ රටේ බුද්ධිමත් ජනතාව දැන් ආණ්ඩු විරෝධී බලවේගය සමඟ අත්වැල් බැඳගෙන ඉවරයි. දැන් මිනිස්සු ඉල්ලන්නේ රට ගොඩනඟන්න පුළුවන් ආණ්ඩුවක්. මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව මහින්ද මහත්තයා නැවත බලයට එනු දැකීමයි.

මේ රටේ ජනතාව දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගය සමඟයි. ජනවරම තියෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගයටයි. ඒ අස්සෙන් ජනාධිපතිවරයා හීනෙන් නැගිටලා වගේ කියනවා එයා 2020 දී විශ්‍රාම යන්නේ නැහැ කියලා. මේවට අපිට දෙකොණින් හිනා.

ජනාධිපතිවරයා දැන් විශ්‍රාම යවලා ඉවරයි. විධායක බලතල තියාගෙන අගමැතිට ඕනෑ විදියට රට පාලනය කරපු එතුමා විශ්‍රාම ගියේ 2015 ජනවාරි 09 වැනිදම තමයි. නමට ජනාධිපති වෙලා හිටියට ඇත්තටම රට පාලනය කළේ රටම විකුණලා මහ බැංකුවත් කොල්ල කාපු රනිල් වික්‍රමසිංහම තමයි.

පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි වෙනවා එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් නොවුණොත් ආයේ උපන්තේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියෙන් ජනාධිපතිවරයෙක් බිහිකරන්න පුළුවන්කමක් නැහැ කියලා.

හැබැයි එක්සත් ජාතික පක්ෂය කියනවා ආයෙ කිසිදවසක පොදු අපේක්ෂකයන්ට සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද ජනාධිපතිවරයා 2019 දී ආයෙත් තරග කරන්නේ? දැන් තියෙන තත්ත්වය අනුව එතුමාට ජනාධිපති වෙන්න තියා ප්‍රාදේශීය සභාවකටවත් පත්වෙන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බිහිවෙන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් කියලා අපි පැහැදිලිව කියනවා. රටේ ඡන්දවලින් සියයට 60කට වඩා ලබා ගත හැකි එකම බලවේගය ඒකාබද්ධ විපක්ෂය පමණයි. 2019 සිට රට නැවතත් වේගවත් සංවර්ධන මාවතකට යොමුකරන්න අපි සූදානම්.

– ප‍්‍රදීප් අනුර කුමාර

58 views