විමල් නිදහස් කර දෙන්නැයි කතරගම දෙවියන්නට කන්නලවු කරයි..

February 20, 2017 at 2:02 am | lanka C news
විමල් නිදහස් කර දෙන්නැයි කතරගම දෙවියන්නට කන්නලවු කරයි..

නිරපරාදෙ සිරගත කර සිටින, රට වෙනුවෙන් කැප වූ තුන් කල් දකින නායකයකු වූ විමල් වීරවංශයන්ට රට, ජනතාව වෙනුවෙන් සේවය කරන්නට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර දෙන ලෙස කතරගම කිරි වෙහෙර සමිඳුන්ගෙන් සහ කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් සත්‍යක්‍රියාවක් සහ දේව කන්නලව්වක් සිදු කළ බව ජානිපෙ මොනරාගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පැවසීය.

කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

“අද වනවිට මේ ආණ්ඩුව රටට ආදරය කරන විමල් වීරවංශ කියන නායකයා නිරපරාදේ සිරකර තිබෙනවා. කතරගම කිරි වෙහෙර සමිඳුන්ගේත් කතරගම දෙවියන්ගේත් අනුහස් තියන මේ ස්ථානයට අපි ආවේ ඒ අවනඩුව කියා සිටින්න. මේ රට බටහිර බලවතුන්ගේ කොලනියක් බවට පත් කරවන්න හදන මේ ආණ්ඩුවෙන් මේ රට බේරා දෙන්න. ‘නිරපරාදෙ සිරගතකර සිටින විමල් වීරවංශයන්ට මේ රට බේරාගැනීමේ සටනට දායක වීම සදහා සිරගත ජීවිතයෙන් මුදවා දෙන්න’ කියන සත්‍යග්‍රහය මේ කතරගම පුදබිමේ සිදුකරනු ලබනවා.

විමල් වීරවංශට ආදරය කරන කොළඹ දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් සහ මේ ප්‍රදේශයේ විශාල ජනකායක් මේ අවස්ථාවට එක්ව සිටිනවා. අප සියලු දෙනාගේ අධිෂ්ඨානය සඵල වී මේ රට දිනාගත් නිදහස දිගුකල් රැඳෙන බව අපේ විශ්වාසයයි.”

මෙම අවස්ථාවට ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, කඩුවෙල නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, මොරටුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හේමසිරි අමරසිංහ, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල යන ජානිපෙ නායකයෝ සහ විශාල ජනතාවක් එයට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

73 views
Main News