දීමනා කැපුවයි රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා…

June 12, 2020 at 8:40 am | lanka C news
දීමනා කැපුවයි රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා…

බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ අතිකාල දීමනා කප්පාදු කළේ යැයි ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමය සහ බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් හා පිංකටි ව්‍යාපාරයක් (11) දවස පුරා බළපිටිය මූලික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තුන්සියයකට (300) ආසන්න පිරිසක් සිය රාජකාරි වලින් බැහැරව (11) පෙ.ව 8.00 සිට සවස 6.30 දක්වා රෝහල් පරිශ්‍රයේ රැදී සිටි අතර දවස පුරාම වරින් වර විරෝධතාවයේද නිරත විය. ඇතැම් සේවකයින් රෝහල් භූමියේ පැදුරු එලාගෙන ඒ මත වැතිරෙමින් විරෝධතාවයේ නිරත විය.

(11) දිනයේ මේ සදහා විසදුමක් නොලැබුණ බවත් ඒ නිසා (12) දිනයේදී නැවත රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත බවත්  බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

‘’මැතිවරණය ලග එනවා – අපේ මුදල් හංගනවා’’, ‘’කබලෙන් ලිපට වැටුන සුව විරුවෝ – හඩට කාගේ පිහිටද’’, ‘’අවසානයට අපි ගන්නේ කොරෝනාව’’, ‘’අවදානම අපි ගන්නේ – හිමි මුදලට ඇයි විද්දේ’’, ‘’දුකක් නැද්ද අපි ගානේ – කාටද ඉතින් වැරදුනේ’’, ‘’දුක් විදලා උපයා ගත් අතිකාලට මොකද කළේ’’ ආදී වශයෙන් සටන් පාඨ ලියන ලද විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් මොවුන් විරෝධතාවයේ නිරත විය.

පසුගිය 2020 අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ මෙසේ විරෝධතාවයේ නිරත වූ බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය මැයි 22 දිනද බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය අප්‍රේල් මාසයට අදාල අතිකාල ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත විය. එහිදී සෞඛ්‍යය බලධාරීන් ජුනි 01 දිනට පෙර අතිකාල ලබාදෙන බවට පොරොන්දු වූ බවත් නමුත් මේ දක්වා එම පොරොන්දු ඉටු නොකල බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය. එක් අයෙකුට රුපියල් 5000/- පමණ සිට 50,000/- දක්වා පමණ වනතෙක් මෙසේ අතිකාල මුදල් හිර වී තිබෙන බවත් මේ වන විට මැයි මාසයේ අතිකාල ද ගෙවිය යුතු බවත් දයානී මහත්මිය ප්‍රකාශ කළාය.

(11) සවස මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කන්චික මහතා පැමිණ රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ. ඔහු සේවකයින් සමග සුහදව සාකච්ඡා කල බවත් අතිකාල ගෙවා නැත්තේ මුදල් නොමැති නිසා බවත් ප්‍රකාශ කර තිබේ. ඉතාම ඉක්මනින් මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ යැයි රෝහල් සේවකයෝ කියති.

මේ සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂණී වර්ණකුලසූරිය මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. පසුගිය මැයි 22 දිනත් මෙවැනිම විරෝධතාවයක බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලය නිරත වුණා. මේ විරෝධතාවය වැරදි හෝ අසාධාරණ යැයි අපි කියන්නේ නැහැ. දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාත් ඒ මතයේ ඉන්නවා. අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල ඉදිරියේදී ගෙවනවා. ප්‍රමාදයක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අදාල නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කරනවා. පසුගිය කාලයේ රජයේ වියදම් අධික වුණා. අදායම් අහිමි වුණා. ඒක නොසිතූ හදිසි තත්ත්වයක් බව අපි දන්නවා නේ.

බළපිටිය රෝහලේ සදුදාත් සිකුරාදාත් විශේෂඥ වෛද්‍ය සායන කිහිපයත් තිබෙනවා. ඒ දිනවලට රෝගීන් 800 ක් විතර එනවා. අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කරන්නේ නැතුව විරෝධතාවය දියත් කරන ලෙස මම, ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබා දියයුතු බව අපි දෙපාර්ශවයම තේරුම් ගැනීම වැදගත්.

– ජයකාන්ත ලියනගේ

343 views

5 Comments to “දීමනා කැපුවයි රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා…”

  1. දිලිත් says:

    ඔයාලට හෝටලේක නිවාඩුවක් දෙනවා කිව්වෙ අපේ සර්
    ඔයාලව දිරිගන්වන්න
    ඒ මදිද ඔයාලට
    දීමනා අමතක කරලා දාන්න ප්‍රෙන්ස්
    රෙස්පට් සර්
    මම දීලිත් කුවේට් සිට

  2. සමන් (සුව සේවක) says:

    හැම ආණ්ඩුවක් ම කලේ අපිව කඩේ යවපු එක. මේ පාරත් අපි කොරෝනා නිසා මේ ආණ්ඩුවට දවල් රෑ නැතුව කඩේ ගියා. දැනේ වැඩේ ගොඩ නිසා අපිව එගොඩට දැම්මා. මහත්තයෝ අපේ තරම අපි ඉස්සරහට පෙන්නනම්. තව චන්දෙ තියන්න කල් තියනවනේ. චන්දෙ ප්‍රතිපලේ දැන්මම මොකක්ද කියලත් අපිට තීරණය කරන්න පුලුවන් අපේ ඉල්ලීම් වලට ඇහුන්කම් දුන්නේ නැත්නම්. කොයි කාටත් තරු පේනකොට ප්‍රමාද වැඩයි කියලා තමයි කියන්න තියෙන්නේ.

    • කාන්තාර පළඟැටියා says:

      පිනට හම්බුන කාර් එක විකුණලා සමානව බෙදවකො අයිසේ සේවකයන් අතර නහයෙන් අඬන්නෙ නැතිව

  3. Nishantha says:

    We don’t agree with the miner staff trade union actions at this juncture but thanks to reporter and Cnews for publishing this for the people. Local politicians of the area should involve in this Type of cases and settle without defaming the government.

  4. කාන්තාර පළඟැටියා says:

    අප්‍රකටව කාලයේ වැලි තලාවෙන් යටගිය හෙළ අටුවා නිරුක්ති අනුව ” දීම + නෑ ” කල්යත්ම
    ” දීමනා” ලෙසින් වූ බව සියල්ලෝම දතයුතුය.

Main News