දුර්ලබ මෝර වරල් කිලෝ 854ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…

June 27, 2019 at 2:08 am | lanka C news
දුර්ලබ මෝර වරල් කිලෝ 854ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදි දුර්ලබ වූ මෝර වරල් කිලෝ 854.300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි අදාල මෝර වරල් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මෝර වරල් තොගය අධිශිතකරණය කරන ‍ලද ලොරියක් තුල ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 48 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අංගුවට ගත් පුද්ගලයා, මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දිමට කටයුතු කරන ලදී.

මෙම මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇති අතර, මෝර වරල් ලබා ගැනීම සඳහා ලෝකය පුරා මෝරුන් විශාල ප්‍රමාණයක් මරා දමනු ලබයි.

එමෙන්ම මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද ඇත.

අතවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවි යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,217 Viewers
Main News