දෙපාර්ශවයම බලවත්.. ජිවිතවලින් වන්දි ගෙවිමට පෙර සයිටම් ගැටළුව විසදනු..

February 8, 2017 at 5:30 pm | lanka C news
දෙපාර්ශවයම බලවත්.. ජිවිතවලින් වන්දි ගෙවිමට පෙර සයිටම් ගැටළුව විසදනු..

ජිවිතවලින් වන්දි ගෙවිමට පෙර සයිටම් පුද්ගලික වෛද්‍ය පීඨ ගැටළුව කඩිනමින් විසඳිය යුතු යයි හෙල බොදු සවිය සංවිධානය පවසයි.

එහි සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපියක මේ බව දැක්වෙයි.

අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.

මාලබේ සයිටම් අයාතනයෙන් දෙන වෛද්‍ය උපාධිය ගැන අද වන විට විශාල ගැටළුවක් රටේ මතු වි ඇත. මේ නිසා රටපුරාම ජන ජිවිත මුළුමනින්ම අවුල් වී ඇත. එහි දි ප්‍රධාන මංමාවත් අවහිරවීම, විශ්ව විද්‍යාල රෝහල් පද්ධතිය ආදි ජන ජිවිතයට වැදගත් ස්ථාන අර්බුදයට ලක් වී ඇත. මෙම සිදුවිම සම්බන්ධයෙන් මැදිහත් සිතින් බැලීමට කාලය එළඹ ඇත. මෙම සිදු විම නිසා යම් විදයකින් ලේ වැගිරිමක් සිදු වුවහොත් එය ඔබතුමා ඇතුළු යහපාලන පෙරමුණට මහත් අපකීර්තියක් වනු නිසැකය. අතීතයේ මෙවැනි සිදු විම් අවසන් වි ඇත්තේ ලේ වැගිරිම් වලින් සහ පැවති රජයන්ට අපකීර්තිමත් ඉතිහාසයක් එක් කරමින් බව අප කවුරුත් දන්නා සත්‍යයකි.

ගරු ජනපතිතුමණි, මෙම සිදු විම සම්බන්ධව ඔබතුමාටද අවබෝධයක් ඇතැයි සිතමු. සයිටම් ආයතනය වස දැමිමෙන් හෝ එය පවත්වා ගෙන යාමනේ මෙම ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නැත. මෙම පර්ශව දෙකම එක හා සමානව බල සම්පන්න වී ඇත. ලංකාවේ හෝ ලෝකයේ මෙවැනි ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් ලබා දිමට නොහැකි බව අප වටහා ගත යුතුය. එම නිසා දීර්ඝකාලින විසදුමක් සදහා යන අතර තුර කෙටි කාලින විසදුමක් ලබා දි යුතුය. වැඩවර්ජන, උද්ඝෝෂණ පාගමන් ආදියෙන් පීඩාවට පත්වන්නේත් මේ රටේ ජනතාවටමය. එයිනුත් දෝශදර්ශනයට ලක්වන්නේ පවතින රජය සහ එහි පාලකයින්ය.

අද මෙම ප්‍රශ්නයට මැදිහත් වී ඇති පාර්ශව දෙකටම අභිමානයක් පිළිබඳව ද ප්‍රශ්නයක් ඇත. එයට හේතුව මෙම යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිමට මෙම පාර්ශවයන් දෙකම කොටස්කරුවන් වී ඇති බැවිනි. අධ්‍යාපනය කියන දෙය මුදලට ලබා දිමෙන් එහි නිසි ප්‍රමිතිය පවත්වා ගෙන යා නොහැක. අද මාධ්‍ය ආයතන ද මුදල් මත ක්‍රියාත්මක විම නිසා කිසිම ප්‍රමිතියක් නොමැති ආයතන බවට පත්ව ඇත. මිනිස් ජිවිතවලට සෘජුව වගකියන වෛද්‍ය ඉංජිනේරු වැනි අධ්‍යාපන ආයතන ලෝකයේ 99]ක් ලාබ උපයන ආයතන ලෙස පවත්වා ගෙන යන්නේ නැත. උදාහරණයක් ලෙස ගතහොත් අප රටේම නැගෙනහිර පළාතේ පවත්වාගෙන යන මඩකලපුව වෛද්‍ය පිඨයේ, නිසි ප්‍රමිතියකින් තොරව වෛද්‍ය උපාධිධාරින් පිටවන බවට විශාල චෝදනාවක් මතු වී ඇත.

මෙම ප්‍රශ්නයට සාධාරණ විස‍ඳුමක් නොදීම නිසා මේ ගැටළුව තවමත් නොවිසඳී බරපතල තත්ත්වයකට ද පත්ව ඇත. ඉදිරියටත් මෙයට නිසි විසඳුමක් ලබානොදුනහොත් ඇති විය හැකි තත්ත්වය මීටත් වඩා බරපතලය. මෙම පාර්ශවයන් දෙකටම සහ රටේ පොදු ජනතාවටත් පිළිගත හැකි, යහපතක් විය හැකි, විසඳුමක් ලබාදීමට ජනාධිපති කොමිසමක් හෝ පත්කර සුදුසු පියවරක් ගන්නා ලෙස ඉතා කාරුණිකවත් ගෞරවයෙනුත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති

38 views
Main News