දේශපාලන ඔන්චිල්ලාව ආපසු එයි.. නාමල්ට විරුද්දව FCID දැමු නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරු තමන් දුන්නේ බොරු සාක්‍ෂියක් බව අධිකරණයේදී කියයි…

August 3, 2018 at 11:01 pm | lanka C news
දේශපාලන ඔන්චිල්ලාව ආපසු එයි.. නාමල්ට විරුද්දව FCID දැමු නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරු තමන් දුන්නේ බොරු සාක්‍ෂියක් බව අධිකරණයේදී කියයි…

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළව තමන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබා දුන් කට උත්තර අතරින් දෙකක් අසත්‍ය බව එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන රොහාන් අභය ඊරියගොල්ල කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතු කල ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරුවෙක් මේ බව කියා සිටියේය.

සාක්ෂිකරු අධිකරණය හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව තමා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කටඋත්තර 05ක් ලබාදුන් බවයි.

එහිදී තමන් මුලින්ම ලබා දුන් කට උත්තර දෙක අසත්‍ය බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පිළිගත්තේය.

එමෙන්ම මෙම නඩුවේ විත්තිකරුවකු විසින් තමන්ට රුපියල් මිලියන 36 ක චෙක්පතක් ලබාදුන් බව මෙම සාක්ෂිකරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලබාදුන් කටඋත්තරයේ සදහන් කර තිබුණි.

එහෙත් ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ අදාළ විත්තිකරු විසින් තමන්ට රුපියල් මිලියන 30 ක චෙක්පතක් පමණක් ලබා දුන් බවයි.

මෙය පරස්පර සාක්ෂියක් නොවේ දැයි විත්තියේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තමා විසින් ලබා දුන් සාක්ෂිය පරස්පර එකක් බවයි.

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සැප්තැම්බර් මස 11 වනදාට කල් තැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද මහාධිකරණය තීන්දු කර තිබේ.

– adaderana

29 views
Main News