ධීවර යාත්‍රාවක් සුලි කුණාටුවකට හසුවී පෙරලේ…

July 21, 2022 at 2:09 am | lanka C news
ධීවර යාත්‍රාවක් සුලි කුණාටුවකට හසුවී පෙරලේ…

තලෙයිමන්නාරම් මුහුදු සීමාවෙන් මසුන් ඇල්ලීම සඳහා ගොස් සුලිකුණාටුවකට හසුව බොට්ටුව පෙරලී යාම හේතුවෙන් විපතට පත් ධීවරයින් දෙදෙනෙකු බේරාගත් බවටත් එක් ධීවරයෙකු අතුරුදහන්ව ඇති බවටත් නාවික හමුදාව පවසයි.

තලෙයිමන්නාරම ජැටිය ප්‍රදේශයේදී අදාල ධීවරයින් තිදෙනා යාත්‍රාවකින් ගැඹුරු මුහුදට ගොස් ඇති අවස්ථාවේදී එකවර ඇති වූ සුලිකුණාටුවකට හසුව ධීවර යාත්‍රාව පෙරලී අනතුරට ලක් වී ඇත.

පසුව ධීවරයින් දෙදෙනෙකු පෙරලී ගිය ධීවර යාත්‍රාවේ එල්ලී ජීවිතය බේරාගෙන උදව් ඉල්ලා කෑ ගසා ඇතත් එක් ධීවරයෙකු අතුරුදහන්ව තිබුණි. කෙසේ වෙතත් අදාල ධීවරයින් අනතුරට පත් වූ ස්ථානයට ආසන්නයට පැමිණ මසුන් ඇලලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් බේරී සිටි ධීවරයින් දෙදෙනා රැගෙන ගොස් කච්චතිව් දූපතට දමා ඒ බව නාවික හමුදාවට දැනුම් දී තිබුණි.

අනතුරුව නාවික හමුදාව විසින් කච්චතිව් දූපතේ සිටි ධීවරයින් දෙදෙනා රැගෙන මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමෙන් පසුව මන්නාරම් රෝහලට ඇතුලත් කරනු ලැබීය.

කෙසේ වෙතත් බොට්ටුව පෙරලීමෙන් ජලයට වැටී අතුරුදහන් වූ අනෙක් ධීවරයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටත් එම ධීවරයා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

මෙලෙස සුලි කුණාටුවට හසු වී බොට්ටුව පෙරලීමෙන් විපතට පත් වූ ධීවරයින් මන්නාරම තලෙයිමන්නාරම නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 , 50 සහ 52 හැවිරිදි වියේ පසුවන අය වන අතර ඉන් 52 හැවිරිදි රාසතුරෙයි රාජසේකර් නැමති ධීවරයා මෙතෙක් අතුරුදහන්ව ඇතැයි තලෙයිමන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,774 views