නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!

January 27, 2020 at 2:22 am | lanka C news
නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!

නව නිපැයුම් වෙළෙඳ පොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නැව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන බවත් කර්මාන්ත හා සැපයුම කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

නව නිපැයුම් කොමිසම වෙනුවට එහි සීමාවන් අතික්‍රමණය කළ හැකි නව ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත්වූ වූ කැබිනට් පත්‍රිකාවට පසුගිය සතියේදී අනුමැතිය ලැබුණ බවත් එම නිසා නව නිපැයුම්කරුවන්ට මෙතෙක් පැවති බාධාවන් රැසක් ඉවත් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස පළ කරනු ලැබුවේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව (IlVCC) නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නව නිපැයුම්කරුවන් මෙහිදී අමාත්‍යවරයා ඉදිරියේ සිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිපැයුම් ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.

ඔටිසම් දරුවන් වෙනුවෙන් නිපදවූ ‘හැරි පොටර්’ හිස්වැසුම, දියවැඩියා රෝගී පරික්ෂාව වෙනුවෙන් නිපදවූ මෘදුකාංග යෙදුම, කෙසෙල් ඇතුළු පලතුරු කෘතිමව ඉදවා ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ මෘදුකාංග යෙදුම (Carbide Detector) හා වකුගඩු රෝගය වැළැක්විය හැකි ජල පෙරනය ආදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණ ද ඒ අතර විය.

මීට අමතරව එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ව්‍යසායකත්ව සංවර්ධන ඒකකය (Entrepreneur Club) විසින් තෝරා ගනු ලැබූ හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයෝ දසදෙනා ද මෙහි දී සිය ව්‍යාපෘති ඉදිරිපත් කළහ.

එම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය පද්මලාල් මානගේ, ආචාර්ය ලංකා උදුගොඩ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

71 views

One Comment to “නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!”

  1. Parakum says:

    Will you cast your valuable vote for this man? You must read his RAG to RICHES story within a very short time.

Main News