නව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සුව ඇමැතිගේ ඇගයීමට…

March 4, 2019 at 2:14 am | lanka C news
නව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සුව ඇමැතිගේ ඇගයීමට…

වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 26 වන වාර්ෂික සැසිවාරයේ දී නව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඇගයීමට ලක් විය. වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය විසින් එම වෛද්‍යවරුන්ට කුසලතා සහතික සහ ත්‍යාග ද පිරිනමන ලදි.

හොරණ මුලික රෝහලේ දැනට ක්‍රියාත්මක වැඩිහිටි සායන ව්‍යාපෘතිය මෙහිදී ඉදිරිපත් කරන ලද්දේ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා විසිනි. වැඩිහිටියන්ගේ බෝනොවන රෝග සදහා මාසිකව ලබාදෙන සායනික ඖෂධ ගමට ගොස් වෛද්‍යවරුන් පරීක්ෂා කර ලබාදීම මෙම වැඩපිළිවෙලේ ක්‍රියාදාමය වෙයි. මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් පරිගණක මෘදුකාංගයක් භාවිත කරමින් රෝහල් ආහාර කළමණාකරණ පද්ධතියකට අදාල ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වසින් රෝගීන්ට ආහාර ලබාදීමේ ක්‍රමවේදයට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛය හේතුවෙන් මතුවන ඇතැම් ප්‍රායෝගික ගැටලු මඟහැරවීමේ අරමුණින් මෙම මෘදුකාංගය මගින් රෝගීන්ට පෞද්ගලික රෝහලක ආහාර ලබාදෙන ආකාරයට ආහාර ලබාදීම සිදුවෙයි. මෙම ව්‍යාපෘතිය මේ වන විට මහනුවර මහ රෝහලේ ක්‍රියාත්මකයි. අනුරාධපුර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් නව පර්යේෂණ වාර්තා 04 ක් ඉදිරිපත් කරන ලදි. මුහුදු රැළි වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක්, රෝහල් වාට්ටුවල කසල ඉවත් කිරීමේ රථයක්, රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා දුණු සහිත ට්‍රොලියක් සහ ජංගම ශ්වසන යන්ත්‍රයකට අදාල ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන ලදි.

මෙම ව්‍යාපෘති වාර්තා ඇගයීමට ලක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා තිළිණ ප්‍රදනය කිරීමේ දී වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියාය.

– ප්‍රසන්න අධිකාරි

3,488 Viewers
Main News