නව රැකියා ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියට ව්‍යවසායකයින් සම්බන්ධ කරන්න…

December 3, 2016 at 2:06 am | lanka C news
නව රැකියා ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියට ව්‍යවසායකයින් සම්බන්ධ කරන්න…

වසර තුනක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

2017 වසරේ අයවැය කාරක සභා අවස්ථාවට අදාලව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යතුමන් මේ බව පැවසීය.

“විශේෂයෙන්ම මම කියනවා, මම ඉල්ලීමක් කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන්ම ඔබතුමන්ලාගේ පළාත්වල ඉන්න ව්‍යවසායකයින් අපිට හදුන්වලා දෙන්න.

ඒකේ කිසිම පක්ෂ බේදයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. එහෙම නැත්තං දෙමළ සන්ධානේ හෝ වෙනත් පක්ෂයක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන් මේ ව්‍යාපෘතියක් පටන් ගන්න. මගේ අමාත්‍යාංශය සූදානමින් ඉන්නවා මේ වෙනුවෙන් අතහිත දෙන්න.“

ඒ පිළිබද තවදුරටත් පැහැදිලි කළ අමාත්‍ය දයා ගමගේ මහතා.

“අපේ අමාත්‍යාංශය තුළින් අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යවසායකයින් බිහි කිරීම ඉලක්ක කර ගත්ත නව ව්‍යාපෘතියක් දියත් කරන්න. විශේෂයෙන්ම ලෝක බැංකුවේ ආධාර යටතේ අපිට ලැබිලා තියනවා ඩොලර් මිලියන 170ක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයයි එකතු වෙලා මේ වැඩසටහන දියත් කරනවා.

මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ පුංචි ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න. උදාහරණයක් හැටියට කාගේ හරි අතේ රුපියල් ලක්ෂ 10ක් තියනවා නම්, ඒ කෙනාට පුළුවන් ලක්ෂ 100ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ඒ වෙන්නේ මෙහෙමයි. එයාට අපි මෙම ව්‍යාපෘතිය මගින් ලක්ෂ 50ක ආධාරයක් ලබා දෙනවා. ඒ වගේම අපි මැදිහත් වෙලා අඩු පොලී යටතේ තවත් ලක්ෂ 40ක් අපි ලබා දෙන්න කටයුතු කරනවා.

මේක තුළ අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකර්ම ක්ෂේත්‍රයට රුපියල් බිලියන 62ක් එකතු කරන්න. මේ අයවැයේ මේ සල්ලි ගැන නෑ. නමුත් මේ ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා අපි මේ අවුරුදු තුනේදි මේ ආදායම රටට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා.
අපි හැමදාම අයවැය හදනකොට හැදුවේ ආණ්ඩුවෙන් සල්ලි වියමදම් කරන අයවැයක්. නමුත්, මේ අයවැය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පහසුකම් සැපයීම සිදු කරන්න.

අද මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා එක්සත් ජාතික පක්ෂය කියන්න ධනවතුන්ගේ- පෝසත් කට්ටියගේ පක්ෂය නේද කියලා. මම කීවා නෑ කියලා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ධනවතුන්- පොහොසතුන් බිහි කරන පක්ෂය.

ඒ අනුව, මේ බලාපොරොත්තුවෙන් මම අපේක්ෂා කරනවා නව රැකියා අවස්ථා ලක්ෂයක්වත් බිහි කරන්න. මේකෙදි කුඩා ව්‍යාපෘති 450ක් ඇති කරනවා. කුඩා ව්‍යාපෘති සිද්ධ වෙන හැටි මම කළිං පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, මහා පරිමාණ ව්‍යාපෘති 72ක් මේ හරහා ඇති කරන්න කටයුතු කරනවා. අපිට පුළුවන් ලොකු ව්‍යාපෘති වෙනුවෙන් ලක්ෂ 750ක් ආධාර දෙන්න. කවුරු හරි ව්‍යාපාරිකයෙක් ලක්ෂ 750ක ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම්, අපි දෙනවා එයාට තවත් ලක්ෂ 750ක්. ඒ වගේම තව ලක්ෂ 1500ක් බැංකු ණය මගින් ලබා දෙන්න අපි උදව් කරනවා. ඒ අනුව ඔවුන්ට පුළුවන් ලක්ෂ 3,000ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.

ඒක තුළ අපි බලාපොරොත්තු වෙනවා නිෂ්පාදනය, අගයදාමය සහ ගුණාත්මකභාවය වැඩි කරන්න. අපිට පුළුවන් මේ හරහා විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළදපොළ ජයගන්න.“

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා…

“අපිට මතකයි පසුගිය කාලයේ දී වී වගාකරුවන් පත්වෙලා හිටපු අපහසු තත්ත්වය. අම්පාර නගරය මැද්දේ වී ගොවීන් ඇවිත් වී ගිණි තිබ්බා. ඒ වෙලාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යතුමා කීවා මේක දයා ගමගේ උසිගන්වලා කරපු වැඩක් කියලා. මම නම් ඒ ගැන දන්නේ නෑ. හැබැයි ගොවීන් පත්වෙලා හිටපු අපහසුතාවය නිසා ඔවුන් ඒ වැඩේ කළා.

මේ වී ප්‍රශ්නය අවුරුදු දහයක් දොළහක් පස්සට බැලුවහම අපිට පේන දේ තමයි අස්වනු නෙළන කාලෙට වී ගොවීන් අස්වනු විකුණාගන්න බැරුව අපහසුතාවට පත්වෙන හැටි. ඒ වගේම මේ වෙලාවේ මම මතක් කරන්න අවශ්‍යයි, එච්චර වී නිශ්පාදනයක් තියනකොටත් වී පිටරටින් ගේන්න කටයුතු කරපු බව. අවසානයේ දී අපිට සිද්ධ වුණා ඒවා සත්ව ආහාර වලට විකුණන්න. මොකද ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ තිබුණේ නෑ. අනිත් කාරණේ තමයි අපි ඒ සහල් වෙළදපොළට නිදහස් කරා නම් ඒ කන්නෙදිත් අපේ ගොවියන්ට වී ටික විකුණාගන්න බැරුව ගිනි තියන්න තමයි වෙන්නේ.

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවල ක්‍රමවත් කිරීම තුලින් අද විශාල වශයෙන් අකාබනික පොහොර පාවිච්චි කරන ප්‍රමාණය අඩුවෙලා තියනවා. ගොවියන් දැන් පෙළඹිලා තියනවා කාබනික පොහොර පාවිච්චි කරන්න.

අද අපේ රටේ ආදායම වැඩි කරන ක්‍රමයක් ගැන කතා කරන්න ඕනි. අපි බලන්න ඕනි වියදම අඩු කරලා හෝ වියදම ඒකාකාරීව පවත්වාගෙන යන අතරවාරයේ අපි කොහොමද ආදායම වැඩි කරන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න ඕනි. අපේ අපනයන 37% සිට 14% දක්වා පසුගිය අවුරුදු 10 දී පහත බැස්සා. අපි මේක ආයෙත් වැඩි කරන්න ඕනි.

අපේ ප්‍රධාන නිෂ්පාදන හැටියට ගත්තොත්, ඩොලර් බිලියනයක් ඉක්මවන නිෂ්පාදන දෙකයි තියෙන්නේ. එකක් ඇගලුම් කර්මාන්තය. ඇගලුම් වලින් ආදායම බිලියන 41ක්. අනික තේ කර්මාන්තය. දැන් තේ කර්මාන්තය යම් පසුබෑමකට ලක් වෙලා තියනවා. අපේ ආණ්ඩුව ඒ සදහා දැන් විසදුම් ලබා දෙමින් සිටිනවා.“

– භාරත ප්‍රභාෂණ

30 views
Main News