‘නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය’ නමින් භයංකාර ලේඛණයක් සභාගත කෙරෙයි.. හැදු කෙනෙක් නොකියයි..

June 20, 2018 at 6:28 am | lanka C news
‘නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය’ නමින් භයංකාර ලේඛණයක් සභාගත කෙරෙයි.. හැදු කෙනෙක් නොකියයි..

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර විසින් කතානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු කථානායකතුමනි,

නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය: අන්තර්ගතය පමණක් නොව සකස් කළ ආකාරය සහ ඊට දායක වූ පුද්ගලයින් පිළිබදව මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමේ වගකීම

මේ වන විට නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමින් ලේඛනයක් පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති නමුත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් සකස් කොට ඉදිරිපත් කරන එම ලේඛනය සකස් කළ ආකාරය හෙවත් ඒ සඳහා යොදාගත් ක‍්‍රමවේදයන් සහ ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කොට නැත.

ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ මතවාදයක් අනුව ඕනෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අන්තර්ගතයට වඩා ඒ කරා ළඟාවීම සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය සහ ඊට දායක කර ගන්නා පුද්ගලයින්ගේ විශ්වාසනීයත්වය වැදගත් වේ.

එවැනි මතයක් ප‍්‍රචලිත කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ ලෝකය පුරා පරිධියේ රටවල ආර්ථිකය වෙළඳාම සහ මූල්‍ය පද්ධතිය ආදිය දුරස්ථපාලකයක් මගින් මෙහෙය වීම සඳහා ආයතන කටයුතු කරන බැවිනි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන මගින් රටවල් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප‍්‍රධානතම උපාංගයක් වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනයයි. ප‍්‍රතිපත්ති මඟින් රටවල් හැසිරවීමට නම් ප‍්‍රතිපත්තිය සෑදීමේ ක‍්‍රියාවලිය අත්පත් කරගත යුතුය. එසේ එම ක‍්‍රියාවලිය අත්පත් කරගත හැක්කේ තෝරා ගත් පුද්ගලයින් හරහා මහජන සංවාදයකින් තොරව හොර රහසේ ප‍්‍රතිපත්ති හැදුවොත් පමණි.

ප‍්‍රතිපත්තිය නමින් ඉදිරිපත් කරන ලේඛනය සමග ප‍්‍රතිපත්තිය සකස් කළ ආකාරය පිළිබඳව මන්ත‍්‍රීවරුන් දැනුවත් කළ යුත්තේ ඒ නිසා ය. මීට පෙර 2017 සැප්තැම්බර් 05 දාතම සහිත අදාළ අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නමින් ලේඛනයක් මුදා හැර තිබුණි. එම ලේඛනය පිළිබදව අදහස් ලබා ලබා ගැනීම සඳහා රවී රත්නායක නම් වූ පුද්ගලයකු ගේ නම සහ විද්‍යුත් ලිපිනය සටහන් කොට තිබුණි.

අප විසින් යොදාගත් තොරතුරු අනුව ඔහු නවසීලන්ත පුරවැසියෙකු වන අතර වසර 30ක කාලයක් විවිධ ජාත්‍යන්තර සංවිධානවල සේවය කොට ඇත. පිටු 104 කින් සමන්විත වූ එම ලේඛනය ඉන්පසුව පිටු 27 දක්වා සංස්කරණය කොට නව වෙළඳ ප‍්‍රතිපත්තිය ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එම ක‍්‍රියාවලියට දායක වූයේ කවුද යන්න පැහැදිලි නැත. ඒ අනුව ක‍්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් වීමේ වැදගත්කම ඔබතුමාට පැහැදිලි වනු ඇත. එනිසා ඊට අදාළ තොරතුරු මන්ත‍්‍රීවරුන් වෙත ලබාදීමට ක‍්‍රියාකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ජයන්ත සමරවීර (පා.ම)
ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණ.

124 views

One Comment to “‘නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය’ නමින් භයංකාර ලේඛණයක් සභාගත කෙරෙයි.. හැදු කෙනෙක් නොකියයි..”

  1. polonnaruve wije says:

    රෝම ලංදේසි නීතියේ වැඩිම වාසිය පහත අයගෙන් කාටද?
    1.සිංහලයන් ට
    2. දෙමළ ඩයස්ෆොරාවට

Main News